Home FeaturesFuture මුහුදෙන් උගත් පාඩම් අහස වෙනුවෙන්

මුහුදෙන් උගත් පාඩම් අහස වෙනුවෙන්

by Sathya

විශ්‍රාම යැවුණු රුසියානු ඔත්තු බලන චන්ද්‍රිකාවක්, ඉකුත් ජනවාරියේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් පැරැණි රොකට්ටුවක කොටසක් සමග ගෑවි-නො-ගෑවී ගියේ මීටර සුළු ගණනක දුරින්. එකිනෙක ගැටුණි නම් විවිධ ප්‍රමාණයේ සුන්බුන් කොටස් දස දහස් ගණනක් ඉන් මුදා හැරෙන්නට තිබුණා. නමුත් සෑම විටෙක ම කන ළඟින් ගොස් බේරීමට තරම් ඒවා වාසනාවන්ත වන්නේ නැහැ.

මිනිසා අජටාකාශය ස්පර්ශ කර මේ වන විට දශක අටක් පමණ කාලයක් ගත වී අවසන්. සීඝ්‍ර දියුණට පත් අජටාකාශ තාක්ෂණය නිසා‍ අහස් කුස අරක් ගත් මිනිසාගේ නිමැවුම් එදා සිට ම වැඩි වුුවා මිස අඩු වූයේ නැහැ. යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරන පරිදි මේ වන විට අභ්‍යවකාශයේ කක්ෂගත ව පවතින චන්ද්‍රිකා ගණන 9790ක් පමණ වනවා. ඉන් නියමිත කෘත්‍යය ඉටු කළ හැකි පරිදි ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේ 7200ක් පමණයි. කක්ෂගත වස්තූන් වැඩි වන තරමට අනුලෝම ව ඉන් ඇති වන අපද්‍රව්‍ය ප්‍රමාණය ද ඉහළ යනවා. ඒ එකිනෙක ගැටීම්, උල්කා ඝට්ටන සහ චන්ද්‍රිකා නාශක ප්‍රහාර ආදිය නිසා විසිරී යන කුණු කන්දල් ප්‍රමාණය නිරන්තරයෙන් ගුණනය වන නිසයි. අනුමාන කර ඇති පරිදි තවමත් නිශ්චිත වශයෙන් හඳුනා‍ගන්නට සමත් නො වූ සුන්බුන් කැබැලි ප්‍රමාණය ‍ට්‍රිලියන 100 ඉක්මවනවා.

මාර්තු 10 දාට යෙදුණු Science ජර්නලයේ පළ වූ සන්දේශයක් මඟින් විද්‍යාඥ කණ්ඩායමක් පෙන්වා දෙන්නේ ගතවන තත්පරයක් පාසා වැඩෙමින් පවතින ‘අභ්‍යවකාශ කුණුගොඩ’ සම්බන්ධයෙන් දැඩි තීරණ ගතු යුතු කාලය එලැඹ ඇති බවයි. අභ්‍යවකාශ තාක්ෂණ ආයතන සහ පාලනාධිකාරීන් සියල්ලට ඉහළින් පවත්නා නෛතික වපසරියකට යටත් ගෝලීය ගිවිසුමක අවශ්‍යතාව ඔවුන් පෙන්වා දෙනවා.

මේ විද්‍යාඥ කණ්ඩායමේ පුරෝගාමී චරිතයක් වන්නේ එංගලන්තයේ ප්ලයිමවුත් සරසවියේ මහාචාර්ය ඉමෝගන් නැපර් (Imogen Napper). සාගර විද්‍යාඥයෙකු වන ඔහු සාගර සුරැකුම් ගිවිසුම්වල සහ මේ යෝජිත ගිවිසුමේ සමානකම් දකිනවා. සාගරය මිනිසා අතින් කෙළෙසෙන්නට පටන්ගත්තේ අභ්‍යවකාශයටත් පෙර සිට ම යි. නමුත් ඉකුත් සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවල් වසර විස්සක් තිස්සේ කර අරිමින් සිටි High seas ගිවිසුමට එකඟත්වය පළ කළා. මෙතෙක් කල් ගිවිසුම්වලට අනුගත ව තිබුණේ එක් එක් රාජ්‍යය සතු මුහුදු සීමාවන් තුළ සිදුවන කටයුතු යම් පාලනයක් සහිත ව සිදු වීම පමණයි. නමුත් මහා සාගරයෙන් තුනෙන් දෙකක් පමණ ම තිබෙන්නේ කිසිඳු රාජ්‍යයකට අයත් නො වන ලෙසයි.

ලොව විශාලතම කාබන් සොරොව් බේසම ලෙස ක්‍රියා කරන්නේ සාගරයයි. පෘථිවියේ ඇති ඔක්සිජන් ප්‍රතිශතයෙන් 95%ක් ම සපුරා දෙන්නේ සාගරය තුළ තිබෙන අද්විතීය පරිසර පද්ධතීන්ගේ අනුකම්පාවෙන්. ඉකුත් සතියේ මේ ගිවිසුම බලාත්මක වන තුරු ම ගැඹුරු මුහුදු කලාප තුළ මිනිස් ක්‍රියාකාරකම් පාලනය වූයේ අක්‍රමවත්, අසංවිධිත නීති පද්ධතියකින්. නැපර් පවසන්නේ මේ සිදු වීම ම අභ්‍යවකාශය ගැන සිතා බැලීමේ දීත් උදාහරණයට ගත යුතු බවයි. මුහුද පිළිබඳ මේ තීරණය දශකයකට පමණ ඉහත දී ගත්තේ නම් මේ වන විටත් සමූද්‍ර දූෂණය සැලකිය යුතු අවම මට්ටමක පවත්වා ගන්නට හැකි ව තිබෙනු ඇති බව අවිවාදිතයි. අදින් තවත් දශකයකට පසු ව මෙලෙස ම අභ්‍යවකාශය ගැනත් කනස්සලු වීමට ඉඩ නො තබා දැන් ම වැඩේට බැසීම කළ යුතු බවයි නැපර් පවසන්නේ. මේ අදහසේ සිටින්නේ නැපර් පමණක් නොවෙයි. Spaceport Cornwall හි ප්‍රධානී මෙලීසා කුයින් සහ NASA ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ ආචාර්ය කිම්බර්ලි මයිනර් ද දරන්නේ ඒ අදහස ම යි.

චන්ද්‍රිකා වැඩිපුර ම පිහිටන්නේ පහළ පෘථිවි කක්ෂය තුළයි. මෑත කාලීනව සිට අඩු ආයු කාලයක් ඇති ක්ෂුද්‍ර චන්ද්‍රිකා වැඩි වශයෙන් එහි පැමිණීමත් සමග වඩාත් ඉක්මනින් ඉඩ ඇහිරී යාමේ අවධානමක් ද හටගනිමින් තිබෙනවා. අන්තර්ජාල සේවා සැපයීමේ අදහස පෙරදැරිව විවිධ පෞද්ගලික සමාගම්වලට අයත් චන්ද්‍රිකා පොකුරු බහුල වශයෙන් අභ්‍යවකාශගත කෙරෙනවා. SpaceX සමාගමේ Starlink චන්ද්‍රිකා පද්ධතිය ඊට උදාහරණයක්. එය වෙනුවෙන් මේ වන විටත් ක්ෂුද්‍ර චන්ද්‍රිකා 3000කින් යුතු පොකුරක් අභ්‍යවකාශය් කක්ෂගත ව පවතිනවා. සමාගම සැරසී සිටින්නේ 2026 වන විට එය 12,000ක් දක්වා ඉහළ දැමීමටයි. මෙවැනි ව්‍යාපෘතීන්ට අයත් චන්ද්‍රිකා මුදා හැරීම් ද සලකා බලන විට 2030 වන විට පෘථිවියට ආසන්නතම කක්ෂවල ඇති චන්ද්‍රිකා ප්‍රමාණය 75,000ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. නිසි නියාමනයකින් තොර ව චන්ද්‍රිකා එන්න එන්න ම වැඩි වීමත් සමග කෙමෙන් වර්ධනය වන අභ්‍යවකාශ කුණු ගොඩ නිසා නුදුරු මතු දිනෙක පහළ පෘථිවි කක්ෂය කිසි ලෙසකින් හෝ ප්‍රෙයා්ජනයක් ගත නො හැකි, අනතුරුදායක කලාපයක් බවට වුව ද පත් විය හැකියි.

චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීම් පාලනය කළ හැකි, අත්‍යවශ්‍ය නො වන දෑවලින් කක්ෂය පුරවා දමන මෙහෙයුම් වළකන මෙන් ම යම් හෙයකින් වෙනත් චන්ද්‍රිකා සමග ගැටී කැලි කසළ බවට පත් වුවහොත් ඒ වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ ද විය හැකි ගෝලීය ගිවිසුමක අවශ්‍යතාව අන් කවර දාකටත් වඩා ඉලිප්පී පෙනෙන්නේ එනිසයි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications