දිනය : 1984 අප්‍රේල් 04
සංවාදය : ඉන්දියාවේ එවක අගමැතිනි ඉන්දිරා ගාන්ධි සහ සෝවියට් සමූහාණ්ඩුවේ Soyuz T – 11වැඩසටහන යටතේ අභ්‍යවකාශයට ගිය ප්‍රථම සහ එක ම ඉන්දියානුවා වූ බලගණ නායක රාක්‍ෂේ ෂර්මා අතර.
“ඔබට ඉහළ සිට ඉන්දියාව පෙනෙන්නේ කිනම් ආකාරයෙන් ද?”
“අපේ ඉන්දියාව මුළු ලෝකයට ම වඩා හොඳින් පේනවා.”
මෙය ඉන්දියානු අභ්‍යවකාශ තරණයේ එක්තරා සුවිශේෂී අවස්ථාවක්. ඒ ගමන අද වන විට බොහෝ දුර ඇවිදින්. 2008 දී ඔවුන් සඳ මතට යානයක් ගොඩ බස්වන ලද සිවු වැනි රාජ්‍යය බවට පත් වෙනවා. එමෙන් ම එම ගමනේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සඳෙහි ජලය, අයිස් ස්ඵටික ලෙස පවතින බව ද පළමු වරට සොයා ගන්නවා. ඉන්දියාව විසින් 2013 දී අඟහරු වටා කක්‍ෂගත කිරීමට Mangalyaan දියත් කරන ලද අතර එලෙස පළමු උත්සාහයෙන් ම යානයක් අඟහරු වටා කක්‍ෂගත කළ ප්‍රථම රාජ්‍යය බවට පත් වෙනවා.
Mangalyaan අඟහරු වෙත 2014 දී ළඟා වන විට දීත් යම් කාලයක් අඟහරු මත තනි ව ගත කළ NASAහි Curiosity රෝවරය තම නව මිතුරාව පිළිගත්තේ මේ ආකාරයෙන්.
එකල මේ සංවාදය විද්‍යා ලෝලීන් හට මහත් ආස්වාදය ගෙන දෙන්නක් වුණා.
ඉන්දියානු අභ්‍යවකාශ මෙහෙයුම්වල දක්නට ලැබෙන ඉතා සුවිශේෂී ලක්‍ෂණයක් තමයි ඔවුන්ගේ අඩු වියදම. නාසා ආයතනය Curiosity රෝවරය උදෙසා ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ වැය කරද්දී, ඉන්දියාව සිය අඟහරු යානයට වැය කළේ ඩොලර් මිලියන 72ක් පමණයි. සාමාන්‍යයෙන් අභ්‍යවකාශය සම්බන්ධ හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ද මීට වඩා වැඩි මුදලක් වැය වෙනවා. උදාහරණයක් වශයෙන් Gravity චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන 130ක් පමණ වැය වී තිබෙනවා. එමෙන් ම The Martian චිත්‍රපටය සඳහා වැය වී ඇති මුදල ඩොලර් මිලියන 108ක්.
2017 දී ඉන්දියාව එකවර චන්ද්‍රිකා 104ක් කක්‍ෂගත කර ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වෙනවා. ඒවායෙන් ඉන්දියාවට අයත් වූයේ චන්ද්‍රිකා තුනක් පමණක් වන අතර ඉතිරි ඒවා ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය, කසකස්ථානය, ඊශ්‍රායලය යනාදි රටවල් කිහිපයකට අයත් වුණා.
ඈත අතීතයේ සිට ම ගණිතය, විද්‍යාව යනාදි ක්‍ෂේත්‍රවල ප්‍රගමනය වෙනුවෙන් ඉන්දියානු දායකත්වය අතිමහත්. උදාහරණයක් වශයෙන් 0 ඉලක්කම සහ ඒ ආශ්‍රිත අර්ථ දැක්වීම් මුලින් ම ඉස්මතු වූයේ බ්‍රහ්මගුප්ත වැනි ඉන්දියානු ගණිතඥයන් අතින්. එමෙන් ම ෆයිහි අගය 3.1416 දක්වා මුලින් ම සන්නිකර්ෂණය කිරීම ඇතුළු ගණිතය, තාරකා විද්‍යාත්මක සොයා ගැනීම් රාශියක් සිදු කළ ආර්යභට්ඨා වැනි දාර්ශනිකයන් බිහි වූයේ ඉන්දියානු ශිෂ්ටාචාරය තුළින්.
ඉතිහාසය පුරා ම දරුණු සටන්, ආක්‍රමණවලට මුහුණ දෙමින් ද, ශතවර්ෂයකට ආසන්න කාලයක් බි්‍රතාන්‍ය යටත් විජිතයක් ලෙස ගතකරමින් ද සිටිද්දී ඉන්දියාව නිදහස ලබන්නේ 1947 දී. එලෙස නිදහස ලබා ගත් ඉන්දියාව ඉතා සුළු කාලයකින් එනම් 1957 දී පමණ අභ්‍යවකාශ තරණය සඳහා මුල් ම පියවර තබනවා. අභ්‍යවකාශ විද්‍යාව සහ ඒ ක්‍ෂේත්‍රය ගැන විශාල උනන්දුවක්, ඒ සම්බන්ධ අත්දැකීම්, සම්පත් සහ දැනුම නො තිබූ අවධියක ඉන්දියාව වැනි සාම්ප්‍රදායික සහ ගතානුගතික සමාජයක මෙය ඉතා සුවිශේෂී පියවරක්. දකුණු ඉන්දියාවේ කේරලයේ තුම්බා (Thumba) නම් නිස්කලංක ධීවර ගම්මානය කේන්ද්‍රකොට ඇරැඹෙන ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහන තුළ මුල් කාලයේ රොකට් කොටස් ප්‍රවාහනය සඳහා පාපැදි, ගොන් කරත්ත පවා යොදා ගත් බව සඳහන්. එලෙස ඇරැඹි ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහන දශක හතරක පමණ කාලයක් තුළ රොකට් එන්ජින්, අභ්‍යවකාශ යානා, චන්ද්‍රිකා ඇතුළු සියලු කොටස් ඉන්දියාව තුළ ම නිෂ්පාදනය කිරීමට සහ දියත් කිරීමට හැකියාවක් සහිත තත්ත්වයට පත් වෙනවා.
21 වැනි සියවසේ ගෝලීය ව ඉන්දියාවට හිමි ස්ථානය තීරණය කරනු ලබන ප්‍රධාන සාධකය වනුයේ අභ්‍යවකාශ පර්යේෂණවලින් ලබා ගන්නා ජයග්‍රහණ බව සහ ඉන්දියාවට මෙය කළ හැකි යැයි නිතර ම විශ්වාස කළ, එහි පෙරමඟ ගත් ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙක් අපට මෙහි දී අමතක කළ නො හැකියි. ඉන්දියානු න්‍යෂ්ටික වැඩසටහනේ පියා යැයි හැඳින්වෙන ආචාර්ය හොමී බාබා සහ ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ පියා ලෙස සැලකෙන ආචාර්ය වික්‍රම් සරභායි එලෙස ඉන්දියාවේ අනාගත මඟ වෙනස් කළ පුද්ගලයන් දෙදෙනායි.
ඉන්දියාවේ අනාගත දියුණුව උදෙසා විද්‍යාව හා තාක්‍ෂණය යොදා ගැනීම පිළිබඳ සිහින දුටු ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා වූ ශ්‍රී ජවහර්ලාල් නේරුගේ අවසරය පරිදි Indian National Committee for Space Research – INCOSPAR ඇරඹෙන්නේ1962 දීයි. 1969 දී එය ISRO (Indian Space Research Organization) ලෙස නම වෙනස් කෙරෙනවා. 1975 අප්‍රේල් 19 වැනි දින ඉන්දියාව විසින් ප්‍රථම තමන් විසින් නිෂ්පාදනය කරන ලද Aryabhatta චන්ද්‍රිකාව, සෝවියට් සමූහාණ්ඩුව මඟින් කක්‍ෂගත කරනවා.
ඉන්දියාවට තමන්ගේ ම රොකට් යානයක් නිෂ්පාදනය කිරීමට වසර හතක් ගත වෙනවා. එලෙස නිෂ්පාදනය කරන ලද SLV – 3 රොකට් යානය චන්ද්‍රිකා හතරක් එක වර පෘථිවියේ පහළ කක්‍ෂයේ කක්‍ෂගත කොට චන්ද්‍රිකාවක් කක්‍ෂගත කළ හැකි 6 වැනි රට බවට ඉන්දියාව කිරුළු පළඳනවා. SLV යානය මඟින් කක්‍ෂගත කළ හැකි වූයේ 40 kg පමණ ස්කන්ධයක් පමණයි. එම ගැටලුව මඟහරවා ගැනීම වෙනුවෙන් ඔවුන් අතින් නිපදවෙන මීළඟ සුවිශේෂී නිර්මාණය වන්නෙ PSLV (Polar Saterlite Launching Vehicle) රොකට් යානයයි. 600 kg පමණ ස්කන්ධයක් රැගෙන යා හැකි මේ රොකට් යානය දැනට ගමන් වාර 50කට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කොට ඇති අතර දෙස් විදෙස් චන්ද්‍රිකා රැසක් කක්‍ෂගත කිරීමට දායක වී ඇත.
ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහන් ගමනේ අභියෝගාත්මක සන්ධිස්ථානයක් ලෙස ඇමෙරිකාව විසින් 1993 දී ඉන්දියාව සහ රුසියාවේ GLAVKOSMOS අතර සිදුවීමට තිබූ Upper Stage Cyrogenic engine ගනුදෙනුව නැවැත්වීම හඳුන්වන්න පුළුවන්. වඩා ප්‍රබල රොකට් තැනීමට ඉන්දියාවට මේ Cyrogenic Engines අවශ්‍ය වූ අතර මේ සිද්ධිය නිසා ඔවුන් සිය රට තුළ ම මේවා නිෂ්පාදනය කරගැනීමට මින් යොමු වුණා. වසර පහළොවක් ගත වූ පසු 2008 දී ඉන්දියාව CE 7’4 මට්ටමේ Cyrogenic Engine නිෂ්පාදනය කිරීමට සමත් වෙනවා. මෙමඟින් 2″700 kgක ස්කන්ධයක් භූ ස්ථාවර කක්‍ෂයට රැගෙන යා හැකි ඔවුන්ගේ GSLV (Geo Stationary Launch Vehicle) යානය තුන් වැනි අදියර බල ගැන්වීමට හැකියි. මින් නො නැවතුණ ඔවුන් ලෝකයේ දැනට පවතින අති ප්‍රබල මට්ටමේ CE 20 Cyrogenic Engines නිෂ්පාදනය කළ අතර එමඟින් චන්ද්‍රයා වෙත රෝවරයක් සහිත Chandrayaan-2 යානය යැවුනේ එමගිනුයි.
අඩු වියදමින් කෙසේ හෝ අවශ්‍යතාව තෘප්ත වන පරිදි සකසුරුවමින් යම් කාර්යයක් හෝ නිමැවුමක් නිම කිරීමට උපන් හපන් ජාතියක් ලෙස ඉන්දියානුවන් හඳුන්වන්න පුළුවන්. මේ හේතුව නිසා ම NASA ආයතනය තරම් ම එක වර අඟහරු වෙත යානයක් යොමු කිරීමට තරම් ප්‍රබල රොකට්ටු නො තිබුණත් අඩු වියදමින් ඉතා දක්‍ෂ ලෙස අඟහරු වෙතට යානයක් යවා එය එහි කක්‍ෂගත කරවීමට ඉන්දියානු ISRO සමත් වෙනවා. මෙහි දී ඔවුන් අනුගමනය කළ ශිල්පීය ක්‍රමය වන්නේ පෘථිවියේ කක්‍ෂගත කළ එම යානය පෘථිවිය වටා වට හයක් පමණ විටින් විට වේගය වැඩි කරමින් ගමන් කොට කක්‍ෂය විශාල කරගෙන අඟහරු වෙත යානය විදීමයි (Slingshot). ඉතා සුළු අත්වැරැද්දකින් පවා මුළු මෙහෙයුම අසාර්ථක විය හැකි මේ ක්‍රමය ඉන්දියානුවන් සාර්ථක කරගන්නේ මුළු ලොව ම මවිතයට පත කරමින්. එලෙස 2014 සැප්තැම්බර් 24 වැනි දින Mangalyaan අඟහරුහි කක්‍ෂගත වීමත් සමග අඟහරු කක්‍ෂ මෙහෙයුමක් පළමු වතාවේ දී ම සාර්ථක කර ගත් ප්‍රථම ජාතිය බවට ඉන්දියාව පත් වෙනවා.
ගොන් කරත්තයෙන් සහ පාපැදියෙන් ඇරැඹි ISRO අද වන විට සිය අඩු වියදම සහ ලබාගත් ඉහළ සාර්ථකත්වයන් නිසා Space X ආයතන සමග පවා කරට කර සිටිනා තරගකරුවෙකු වී හමාරයි. මේ වන විට ඉන්දියාව සිය 34ක් වූ හවුල්කාර රටවල චන්ද්‍රිකා 342ක් කක්‍ෂ ගත කොට අවසානයි. එමෙන් ම මේ නිසා ඉන්දියාවට අලුතින් එකතු වූ රැකියා අවස්ථා සහ අධිතාක්‍ෂණික පර්යේෂණ අවස්ථා අතිමහත්. 2030ත් 2060ත් අතර කාලයේ දී ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කීමට නියමිත ඉන්දියාවේ මේ සාර්ථකත්වය වෙනුවෙන් ඉදිරියටත් සිය දායකත්වය ලබා දීමට ෂීඍධ සූදානම්. 1957 දී ශ්‍රේෂ්ඨ ඉන්දියානුවන් කිහිප දෙනකුගේ දැක්ම අද වන විට ඉන්දියාවේ යථාර්ථය බවට පත් වී හමාරයි. පියවරෙන් පියවර ඉදිරියට නැඟි ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහන ලබන වසරේ (2023) සිය පළමු මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය දියත් කිරීමට ද ලහි ලහියේ කටයුතු කරමින් සිටිනවා.
තුෂාන් රණතුංග
කැලණිය විශ්වවිද්‍යාලය