Home Features ආරක්ෂක කටයුතුවල නිරත වන නවීනතම රොබෝවන් (Part 2)

ආරක්ෂක කටයුතුවල නිරත වන නවීනතම රොබෝවන් (Part 2)

by cmadurawala


පසුගිය සතියෙන්…

08) Boston Dynamic Atlas

මෙය සෙවීම් සහ මුදවා ගැනීම් කටයුතු සඳහා තනන ලද මිනිසෙකුගේ ස්වභාවය ගත් රොබෝවකි. එනමුත් එය තවමත් ප්‍රාථමික මට්ටමේ නිර්මාණයක් ලෙස පවතී. මෙම රොබෝවාට දැකීමේ පද්ධති දෙකක් තිබේ. එනම් ලේසර් පරාස දක්නයක් සහ ස්ටීරියෝ කැමරාවකි. මෙම රොබෝ සතු අවයවයන් සංචලන හැකියාවන් 28කින් සමන්විත ය. කටුක භූමි භාගයන්හි මඟ හඳුනාගැනීමේ හැකියාව සහ අත් පා භාවිතයෙන් නැඟීමේ හැකියාව ද මෙම රොබෝවාට තිබේ. මුල් අවධියෙන් පසු තව දුරටත් දියුණු කරන ලද මෙම රොබෝවාට ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ක්‍රියාකාරකම්වල යෙදීමේ හැකියාව, නර්තනයේ යෙදීමේ හැකියාව පවා ඇත. මොහුගේ උස අඩි 4යි අගල් 11ක් පමණ වන අතර, 80 kg පමණ වන ස්කන්ධයකින් යුක්ත ය.

09) Knight scope HP Robocop microbot

මෙම රොබෝවාට එය අසල ඇති ජංගම දුරකථනවල තොරතුරු ග්‍රහණය කිරීමේ හැකියාව ඇත. එයට මිනිත්තුවක් තුළ වාහන අංක තහඩු 1200ක් පරිලෝකනය (Scan) කිරීමේ හැකියාව ඇත. මෙය අඩි 5ක පමණ උසකින් යුක්ත වේ. අංශක 360ක දෘෂ්ටි පරාසයක් සහිත වන මෙය අභ්‍යන්තර කැමරා 4කින් සමන්විත වේ. මිනිසෙකු ඇවිදින වේගයට සමාන වේගයකින් එහා මෙහා ගමන් කරයි. ඇමෙරිකානු පොලිසිය මඟින් මෙම රොබෝවන් 50ක් පමණ එරට විවිධ ප්‍රදේශවල සේවයේ යොදවා ඇත. මෙම රොබෝවන් තවදුරටත් වැඩිදියුණු කර වැඩි ප්‍රමාණයක් රට තුළ මුර සංචාරයන්හි යොදවා එමඟින් මිනිස් පොලිස් පරීක්ෂකවරුන් වෙනුවට ආදේශකයක් ලෙස භාවිත කිරීමට එම රටවල් දැනට සැලසුම් කරමින් සිටී.

10) DOGO Tactical Combat Robot

යුද බිමක දී සෝදිසි කටයුතුවල යෙදෙන සුනඛයෙකුට සමාන රොබෝවකු ලෙස හැඳින්විය හැකි ය. එය කැමරා 8කින් සමන්විත වන අතර, අංශක 360ක දෘෂ්ඨි රාසයකින් සමන්විත ය. එපමණක් නොව එය මිලිමීටර් 9යේ පිස්තෝලයකින් ද සන්නද්ධ ය. මෙය ඉතා සැහැල්ලු වන අතර ස්කන්ධය 10 නට පමණ වේ. අඩි 18ක පමණ දුරක සිට වුව ද මෙය දුරස්ථව පාලනය කිරීමේ හැකියාව තිබේ. එක් බැටරි ආරෝපණයකින් එයට පැයක දී පමණ සැතපුම් 2.5ක දුරක් ගමන් කිරීමේ හැකියාව ඇත. මෙහි ඇති පිස්තෝලය ලේසර් කදම්බයක් මඟින් ඉලක්කය ලබාගෙන නිවැරදිව සතුරු ඉලක්කය වෙත වෙඩි තැබීමට සමත් බව කියවේ. මෙම රොබෝවාට තත්පර 2ක කාලයක් තුළ වට 5ක් භ්‍රමණය වෙමින් වෙඩි තැබිය හැකි ය. මෙවැනි රොබෝවෙකුගේ ඇති වාසියක් වන්නේ වෙඩි තැබීමක දී වාංගු වීමකින් විසි වී යෑමක් සිදු නො වීමයි. වෙඩි තැබීමකින් පසු තව කොපමණ උණ්ඩ ප්‍රමාණයක් ඉතිරි වී තිබේ ද, යන්න එහි පාලකයේ තිරය මත දර්ශනය වේ. මිනිත්තු ගණනාවක කෙටි පුහුණුවකින් පසුව වුව ද සෙබළෙකුට මෙය භාවිත කිරීමේ හැකියාව තිබේ.

මීට අමතර ව පොලිස් කටයුතුවල දී අවශ්‍ය වන සන්නිවේදන කටයුතු සිදු කිරීමට ද මෙය සමත් ය. උමං මාර්ග ආදිය ගවේෂණයට ද දැන් දැන් මෙම රොබෝවන් භාවිත වේ. යුද බිමක දී මෙම රොබෝවන් දෙදෙනෙකු එකවර භාවිත කිරීම ඉතා ඵලදායී බව පෙනී ගොස් ඇති අතර එහි දී එක් රොබෝවකු විසින් සතුරු ප්‍රහාරවලින් අනෙක් රොබෝවා ආරක්ෂා කිරීම සිදු කරනු ලබයි.

11) Boston Dynamic Spot

ප්‍රංශ හමුදාවන් යුද පුහුණුවල දී මෙය අත්හදා බලා ඇත. එහි දී පූර්ව සෝදිසි කිරීම් සඳහා මෙම රොබෝවන් භාවිත කර තිබේ. මෙය සුනඛයෙකුගේ ස්වරූපය ගත් රොබෝවකි. මෙයට පර්වත, මඩ ගොහොරු වැනි කටුක ප්‍රදේශවල පවා පැයට සැතපුම් 3ක පමණ වේගයකින් ගමන් කළ හැකි ය. එහි බැටරියට එක් ආරෝපණයකින් පසු මිනිත්තු 90ක පමණ ආයු කාලයක් පවතී. මෙහි පවතින සංවේදකවලට අමතර ව තවත් සංවේදක සවි කළ හැකි ස්ථාන දෙකක් මෙහි පසුපස කොටසෙහි තිබේ. 14 kg ක පමණ ස්කන්ධයක් රැගෙන යෑමේ හැකියාව මෙම රොබෝවාට පවතී. බෝම්බ නිෂ්ක්‍රිය කිරීම් සඳහා ද මෙය භාවිත කළ හැකි බව පැවසේ. මෙහි ඇති අංශක 360ක දෘෂ්ටි පරාසයක කැමරා මඟින් එය ඇවිද යෑමේ දී හමු වන බාධක පිළිබඳ දැනුවත් වීම සිදු වන අතර, ඒවා මඟහැර යෑමට හැකියාව ලැබේ. විසර්ජනය වූ බැටරිය නැවත ප්‍රතිස්ථාපනය පහසුවෙන් සිදු කළ හැකි ය. වර්ෂාවෙන් හා දූවිල්ලෙන් ආරක්ෂා වීමේ හැකියාව ද ඇත. මෙම රොබෝවරුන් යුද කටයුතුවලට පමණක් නො ව ඉදිකිරීම් කටයුතු සඳහා ද එක ලෙස ප්‍රයෝජනවත් බව පැවසේ.

මිනිසාගේ පරිහානියට යුද්ධය හේතු වී ඇත්තාක් මෙන් ම තාක්ෂණයේ යම් යම් පැතිකඩවල දියුණුවීම් සඳහා ද බලපා ඇති බවට සාක්ෂියක් ලෙස ඉහත අප විසින් සලකන ලද රොබෝවන් ගෙන හැර දැක්විය හැකි ය. කෙසේ නමුත් රොබෝවන් නිපදවීම හැකිතාක් මිනිසාගේ යහපත් අරමුණු සඳහා ම වන්නේ නම් රොබෝවන් බහුල, යහපත් තාක්ෂණික ලෝකයක් අපට අනාගතයේ දී හමු වනු ඇත.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා ආචාර්ය / භෞතික විද්‍යා දේශක,

■ උදයංග හෙට්ටිආරච්චි
B.Sc. (Electronics) WUSL

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications