Home Features X-Press Pearl නැවේ සුන්බුන් ඉවත් කරන්නේ කොහොම ද?

X-Press Pearl නැවේ සුන්බුන් ඉවත් කරන්නේ කොහොම ද?

by cmadurawala

ලෝකයේ රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ප්‍රමුඛතම මාධ්‍යයක් වන්නේ නාවික ප්‍රවාහන මාධ්‍යයයි. සැම වසරක ම භාණ්ඩ ටොන් බිලියන 11ක් පමණ නැව් මඟින් ප්‍රවාහනය කෙරේ. මෙය වත්මන් ගෝලීය ජනගහනය මත පදනම් ව ගණනය කළ විට එක් පුද්ගලයකුට දළ වශයෙන් ටොන් 1.5ක් පමණ වෙයි. ශ්‍රී ලංකාවේ අපට ද නාවික ප්‍රවාහනය ඉතා වැදගත් වන්නේ අපගේ දිවයින ලොව ප්‍රධාන නාවික ගමන් මාර්ගයක පිහිටා තිබීම හේතුවෙනි.

ලොව ප්‍රධාන නාවික ගමන් මාර්ගයක පිහිටා තිබීම අපේ රටට ආර්ථිකමය වශයෙන් වාසිදායක තත්ත්වයක් ඇති කළත් ඒ හා බැඳුණු අනතුරක් ද ඇත. ඒ නාවික අනතුරු සිදුවීමට ඇති ඉඩකඩයි. මෑතක දී සිදු වූ X-Press Pearl අනතුර මේ මාතෘකාව පිළිබඳ ව විශේෂ උනන්දුවක් යොමු කිරීමට හේතු වූ අනතුරකි.

මෙසේ අනතුරට ලක් වන නැව් සාගරයෙන් ඉවත් කිරීම නවීන තාක්‍ෂණය යොදා ගෙන සිදු කරන සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලියකි. මේ ලෝකයේ දරුණුතම සමුද්‍රිය අනතුරුවලින් එකක් ලෙස සැලකෙන X-Press Pearl නැවේ සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය පාදක කර ගනිමින් ඒ සංකීර්ණ ක්‍රියාවලිය පිළිබඳ ව සිදු කරන විග්‍රහයකි.

නැව් අනතුරින් සිදු වූ හානිය

නයිටි්‍රක් අම්ල කාන්දුවක් හේතුවෙන් 2021 මැයි 19 වැනි දින ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වූ X-Press Pearl බහාලුම් නෞකාව විසින් කොළඹ වරායේ සිට නාවික සැතපුම් 9.5 (18 km) ගැඹුරු මුහුදේ නැංගුරම් දමන ලදි. මැයි 20 වැනි දින මේ නයිටි්‍රක් අම්ල කාන්දුව හේතුවෙන් ගිනි ගැනීමක් ඇති වූ අතර එම ගින්න නැව් තට්ටුව මත බහාලුම් (Containers) අතර, එන්ජින් කාමරය සහ පාලන හා නේවාසික කොටස (Bridge) මත ශීඝ්‍රයෙන් පැතිර යාම සිදු විය. අධික සුළං හේතුවෙන් ගින්නේ ප්‍රබලත්වය සහ පැතිරීම වේගවත් වීම මත එය මැඬපැවැත්වීමට අපහසු වූ බැවින් ජූනි 02 වැනි දින මේ නැව මීටර 21 ගැඹුරු මුහුදේ මුහුදුබත් විය.

මේ නැව් අනතුර ලෝකයේ දරුණුතම සමුද්‍රීය අනතුරු අතර අනතුරුදායක හා හානිකර (Hazardous and Noxious Substances) රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත අනතුරක් ලෙස සැලකිය හැකි ය. පසුගිය දශක කිහිපය තුළ සිදු වූ සැලකිය යුතු සමුද්‍රීය රසායනික අනතුරු කිහිපයක් සන්සන්දනය කිරීමේ දී X-Press Pearl ව්‍යසනය අද්වීතිය, සංකීර්ණ හා සැලකිය යුතු සමුද්‍රීය පරිසර දූෂණයක් සහිත අනතුරක් ලෙස සඳහන් කළ හැකි ය. මෙමඟින් ජලය, වාතය, සමුද්‍රය, මෝය, ගොඩබිම, අවසාදිත හා ආහාර ජාලය යන මේ සියල්ලට හානි සිදු විය. සිදු වූ හානිය සලකා බැලීමේ දී කෙටි කාලීන බලපෑම් අතර නෞකා ගින්නෙන් හා පිපිරීමේ දී සමුද්‍රීය පරිසරයට රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය එකතු වීමෙන් ඇති වූ හානිය හඳුනාගත හැකි ය. දිගු කාලීන බලපෑම් සැලකීමේ දී අන්තරායකර සහ හානිකර ද්‍රව්‍ය (Hazardous and Noxious Substances – HNS) සහ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් දිගු කාලයක් තුළ සාගර පරිසරයට එකතුවීමෙන් ආහාර ජාලයට මෙන් ම ජෛව විවිධත්වයට වන අති විශාල හානිය හඳුනාගත හැකි ය.

මේ අනතුරින් පරිසරයට, විශේෂයෙන් සමුද්‍රීය පරිසරයට එකතු වූ හෝ එකතු වීමට ඉඩ ඇති ද්‍රව්‍ය අතර දැවි තෙල් මෙටි්‍රක් ටොන් 348ක්, නයිටි්‍රක් ඇසිඩ්, කෝස්ටික් සෝඩා, මෙතනෝල් ඇතුළු ව අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 81ක් ද, ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළු ව අනෙකුත් ප්ලාස්ටික් ආශ්‍රිත අමුද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 87ක් ද වේ. නැව් තට්ටුව මත තිබු මුළු බහාලුම් ප්‍රමාණය 1,670ක් විය.

ඒවා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ගිනි ගෙන හෝ මුහුදට වැටී ඇති අතර නැවේ ඇතුළත (Cargo hold) ඇති බහාලුම් ප්‍රමාණය 1,086ක් වේ.

නැවේ සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය නැව හා නැවට අයත් විසිරී ඇති සුන්බුන් ඉවත් කිරීම් ක්‍රියාවලිය අදියර දෙකකට වෙන් කර ඇති අතර මුහුදු පතුල මත ඇති සියලු ම අපද්‍රව්‍ය හා සුන්බුන් (බහාලුම්වල සිට නෞකා කඹ කැබැල්ල දක්වා) ඉවත් කිරීම පළමු අදියර වශයෙන් ද, මුහුදුබත් නෞකාව ඉවත් කිරීම දෙවැනි අදියර වශයෙන් ද ක්‍රියාත්මක වේ.

ඒ අනුව මුහුදු පතුලේ කරන ලද Multi Beam සහ Side Scan Sonar, දුරස්ථ ව ක්‍රියාත්මක වන දිය යට ගමන් ගන්නා යාත්‍රා (Remotely Operated Underwater Vehicle – ROV) වලින් කරන ලද සමීක්‍ෂණයට අනුව සුන්බුන් පැතිර ඇති ප්‍රධාන ස්ථාන 300ක් පමණ ඇති බව සොයාගෙන ඇත. මුහුදු පතුලේ පැතිරී ඇති සුන්බුන් ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා නැවේ හිමිකාර සමාගම වෙනුවෙන් ක්‍රියා කරන උපදේශක සේවා සමාගම ඇතුළු ව රක්‍ෂණ සමාගම සහ P & I Club මඟින් Resolve Marine Company of USA ආයතනය තෝරාගෙන ඇති අතර මේ වන විට එහි කටයුතු අවසන් කර ඇත. ගිලුණ නෞකාව ඉවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා තෝරාගෙන ඇත්තේ ලෝකයේ ප්‍රධාන පෙළේ නැව් මුදා ගැනීමේ චීන සමාගමක් වන Shanghai Salvage Company සමාගමට වේ.

මේ නැව ඉවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා එම ආයතනය උපාය මාර්ග දෙකක් සැලසුම් කර තිබිණි. ඉන් එක් උපාය මාර්ගයක් වන්නේ නැව් බඳේ මැද කොටසේ ඉරිතැලීමකට ලක් ව ඇති බැවින් ඒ අසලින් නැව කොටස් දෙකකට කපා කොටස් දෙක වෙන වෙන ම අනුපිළිවෙළින් ඉවත් කිරීම ය. දෙවැනි උපාය මාර්ගය වන්නේ නැව සම්පූර්ණයෙන් එසවීමේ දී එම ඉරිතැලීම නැවේ මුළු බර දරා ගැනීමට තරම් හැකි තත්ත්වයක තිබේ නම් තනි කොටසක් ලෙස එසවීම ය. මේ ක්‍රියාවලි දෙකට Tandem Lifting (එක් බරක් එසවීම සඳහා දොඹකර දෙකක් භාවිත කිරීම) ක්‍රමය භාවිත කිරීමට සැලසුම් කර ඇත.

නමුත් ROV සහ කිමිදුම්කරුවන් යොදා කරන ලද පූර්ව සමීක්‍ෂණ හා විශ්ලේෂණ අනුව නැවේ බඳේ ඇති ඉරිතැලීම නිසා තනි කොටසක් ලෙස එසවීමේ දී නැව අස්ථායී වීමට හැකියාවක් ඇති බැවින් නැව කොටස් දෙකකට වෙන් කර එසවීමට තීරණය කරන ලදි. එහි පළමු පියවර වශයෙන් නැවේ පාලන සහ නේවාසික කොටස (Bridge) කපා ඉවත් කර බර අඩු කරනු ලැබේ.

මේ වන විට දොඹකර සහිත පාවෙන බත්තල් (Floating Barges with Crane) දෙකක් නැව දෙපස ස්ථානගත කර ඇති අතර ඉන් එකක් CALI යන නමින් හඳුන්වනු ලැබේ. මින් CALI යාත්‍රාව විසින් එහි ඇති තිරස් දිශා විදුම් යන්ත්‍රයක් (Horizontal direction drilling machine) මඟින් මුහුදුබත් වූ නැවට යටින් මුහුදු පත්ල හරහා විද නළයක් යවන අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති යාත්‍රාව විසින් එම නළය ග්‍රහණය කර එයට කේබලයක් සම්බන්ධ කරනු ලබයි. ඉන් පසුව CALI යාත්‍රාව විසින් එම නළය නැවතත් පිටුපසට ඇදීම මඟින් ගිලුණ නැව හරහා කේබලය ස්ථානගත කරනු ලැබේ. මේ ආකාරයට මුළු නැව ම ආවරණය වන පරිදි කේබල් කම්බි 63ක් යවනු ලබන අතර ඉන් 28ක් කපා වෙන් කරන පසුපස කොටසට ද, ඉතිරි කේබල් කම්බි 35 ඉදිරි කොටස හරහා ද යවනු ලැබේ.

ඉන් පසුව මේ නැව කොටස් දෙකකට කපනු ලබන අතර මේ වෙන් කිරීම බහාලුම් ගබඩා කර ඇති Cargo Hold දෙකක් අතර සිදු කරනු ලැබේ. ඒ අනුව ඉදිරි කොටස මීටර 105ක දිගකින් යුතු අතර වියළි බර ටොන් 18,000කි. පසුපස කොටස මීටර 81 වන අතර වියළි බර ටොන් 13,000ක් වේ. මේ කැපීම සඳහා Friction Chain ක්‍රමවේදය භාවිත කරන අතර නැව එසවීමට කේබල් යවනු ලැබූ ආකාරයට ම Friction Chain එකක් යවා ඉදිරියට හා පසුපසට ඇදීමෙන් කැපීම සිදු කරනු ලැබේ.

නැව කපා දෙකඩ කිරීමෙන් පසුව Tandem Lifting දොඹකර 2ක් ස්ථානගත කරනු ලැබේ. නැවේ ඉදිරිපස කොටසට එලා තිබූ කේබල් 35 කිමිදුම්කරුවන් උපයෝගි කරගෙන ඒ අසලට ගෙන එන පාවෙන දොඹකරයක් ආධාරයෙන් එක් එක් කේබලයේ දෙකොන ඔසවා Tandem Lifting Crane දෙකේ Strand Jackවලට සම්බන්ධ එසවුම් දොඹකරවලට සම්බන්ධ කරනු ලැබේ. මේ අකාරයට කේබල් 35 සම්බන්ධ කර අවසන් කිරීමෙන් අනතුරුව මුහුදේ වඩදිය පවත්නා අවස්ථාවේ දී Strand Jackවලට අවශ්‍ය බලය ලබා දී එම කේබල් සියල්ල සෙමින් එක විට ඇදීම ආරම්භ කරනු ලැබේ. මේ ආකාරයට Strand Jack මඟින් කේබල් දෙපසින් ඔසොවන විට ගිලුණු නැවේ Cargo Holdවල තිබෙන ජලය පොම්ප මාර්ගයෙන් ඉවත් කරමින් බර තව දුරටත් සැහැල්ලු කරනු ලැබේ.

අවශ්‍ය ප්‍රමාණයට නැව එසවීමෙන් අනතුරු ව අර්ධ වශයෙන් ගිල්විය හැකි නැවක් මතට (Semi – Submersible Ship – අර්ධ වශයෙන් ගිල්විය හැකි යාත්‍රාවක් යනු විශේෂයෙන් නිපදවන ලද ඉතා විශාල ප්‍රමාණයේ නැව් හෝ වෙනත් බරැති කොටස් මුහුදු මාර්ග යෙන් ප්‍රවාහනය කිරීමට භාවිත කරන නෞකා විශේෂයකි. එහි ඇතුළත ඇති හිස් කුහර මුහුදු ජලය පිරවීමෙන් අවශ්‍ය ප්‍රමාණයට ගිල්විය හැකි ය. ඒවා කොටස් වශයෙන් හිස් කිරීමෙන් අවශ්‍ය ප්‍රමාණයට නැව ඉහළට එසවිය හැකි ය) ඔසොවාගෙන සිටින නෞකා කොටස පතිත කරනු ලැබේ. ඉන් පසු කේබල් ඉවත් කිරීමෙන් පසු මේ කොටස අර්ධ වශයෙන් ගිල්විය හැකි නැව මඟින් අවශ්‍ය ස්ථානයට රැගෙන යනු ලැබේ. බොහෝ විට මේවා පාකිස්තානයේ හෝ බංගලාදේශයේ තිබෙන නැව් කඩා ඉවත් කරන (Ship Breaking Yard) ස්ථානවලට රැගෙන යනු ලැබේ. මේ ආකාරයට නැවේ අනෙක් කොටස ද ඉවත් කරනු ලැබේ.

2014 අප්‍රේල් 06 දින දකුණු කොරියාවේ දී Sewol – Ho යන මඟී නෞකාව අනතුරට ලක් වී සම්පූර්ණයෙන් මුහුදුබත් වූ අතර එහි ගමන් ගනිමින් සිටි උසස් විද්‍යාල සිසුහු 300ක් මිය ගිය හ. ඉන් වසර 3කට පසුව Shanghai Salvage Company සමාගම විසින් ඉහත ක්‍රමයට සමාන ක්‍රමවේදයක් භාවිත කරමින් කේබල 66ක් යොදා ගනිමින් සම්පූර්ණ නෞකාව ඉහළට ඔසොවන ලදි.

මේ වන විට X-Press Pearl නෞකාව හරහා කේබල් එලමින් පවතී. එම කේබල් එලීම බොහෝ දුරට අප්‍රේල් මස අවසන් කිරීමට බලාපොරොත්තු වුවත් නිරිතදිග මෝසම් සමයට පෙර අප්‍රේල් මස අවසානයේ දී පෙර මෝසම සක්‍රීය වීමත් සමාගමේ කටයුතු තාවකාලික ව නැවැත්වීමට ඉඩ ඇති අතර මෝසම් සමය අවසන් වීමෙන් පසු ඔක්තෝබර් මස නැවත මේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මේ ලිපිය සකස් කිරීම සඳහා තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් Shanghai Salvage Company සමාගමේ අශේන් පෙරේරා මහතාට විශේෂ ස්තුතිය හිමි වේ.

වරලත් ඉංජිනේරු
ඩී. ටී. රූපසිංහ
නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධීක්ෂණ හා ඇගයීම්)
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications