නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, ජපානයේ කියුෂු (Kyushu) තාක්‍ෂණ ආයතනය කලාපීය රටවල් සමග ඇති කර ගත් සම්බන්ධතා මත එම ආයතනය මගින් ක්‍රියාත්මක නැනෝ චන්ද්‍රිකා නිර්මාණ ව්‍යාපෘතියට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය. එය චන්ද්‍රිකා තාක්ෂණය මෙතෙක් ලබා නො තිබූ ශ්‍රී ලංකාව වැනි රටවල්වලට පිරිනැමුණු සුවිශේෂී අවස්ථාවකි.
ඒ අනුව 2017 වසරේ දී නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය හා ජපානයේ කියුෂූ තාක්‍ෂණ ආයතනය අතර සහයෝගිතා ගිවිසුමකට එළැඹුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව ‘රාවණ-01’ 2019 ජුනි 17 වැනි දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කරන ලදී.
මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් ආතර් සී. ක්ලාක් ආයතනය ඇතුළු ජාත්‍යන්තර ආයතන 5ක් ඒකාබද්ධ ව සැලසුම් කර නිර්මාණය කරන ලද කිට්සුනේ (kitsune) නමින් නම් කරන ලද දෙවැනි නැනෝ චන්ද්‍රිකාව 2022 පෙබරවාරි 18 දින සිග්නස් -17 (cygns-17) රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලද අතර එම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිට 400 නප දුරින් පිහිටි කක්‍ෂය වෙත මුදා හැරීම ශ්‍රී ලංකා වේලාවෙන් 2022 මාර්තු 24 වැනි දින ප.ව 5.40ට සාර්ථකව සිදු කෙරිණි.
රාවණ – 01 චන්ද්‍රිකාව මෙන් 6 ගුණයක විශාලත්වයකින් යුතු මෙම කිට්සුනේ චන්ද්‍රිකාව උසින් සෙ.මී 30ක් ද, පළලින් සෙ.මී 20ක් ද, ඝනකමින් සෙ.මී 10ක් ද වේ. ශ්‍රී ලංකාවේ ආතර් සී. ක්ලාක් ආයතනය ඇතුළු සිංගප්පූරුව ජපානය යන රටවල ආයතන 5ක සහයෝගිතාවයෙන් නිර්මාණය කළ මෙම කිට්සුනේ චන්ද්‍රිකාව සඳහා ඉංජිනේරුමය තාක්ෂණික දායකත්වය ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවරුන් විසින් ලබා දීම විශේෂත්වයකි.
මෙම කිට්සුනේ නැනෝ චන්ද්‍රිකාව තාක්ෂණික අතින් උසස් චන්ද්‍රිකාවක් වන අතර එහි ඇතුළත් සංවේදී කැමරා පද්ධතිය මගින් පෘථිවියේ 5 ජපක පමණ වපසරිය තියුණු ලෙස නිරීක්‍ෂණයට ලක් කළ හැකි ය. තව ද පෘථිවිය වටා ඇති අයන ගෝලයෙහි ඉලෙක්ට්‍රොනික ඝනත්වය නිරීක්ෂණය කිරීම ඇතුළු විද්‍යාත්මක පර්යේෂණ රැසකට ද දායක කරගත හැකි අයුරින් මෙය නිර්මාණය කර ඇත. මෙම නැනෝ චන්ද්‍රිකාව ආධාරයෙන් සිදු කෙරෙන පර්යේෂණ හා එමගින් ලබාගන්නා දත්ත ඉදිරි චන්ද්‍රිකා නිර්මාණයට මෙන් ම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව කඩිනම් කිරීමට හේතු වනු ඇත.
මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තරය සමග සැලසුම් කිරීම අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා විසින් ද, අනෙකුත් තාක්ෂණිකමය දායකත්වයන් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු කමනි එදිරිවීර මහත්මිය (තාක්ෂණික මෙහෙයුම්) හා ඉංජිනේරු කවීන්ද්‍ර ජයවර්ධන මහත්මා (අධ්‍යක්‍ෂ සන්නිවේදන ඉංජිනේරු අංශය) විසින් මෙම නැනෝ චන්ද්‍රිකාවෙහි සන්නිවේදන හා උප පද්ධතිවල නිමැයුම් කටයුතු ඉංජිනේරු තරිඳු දයාරත්න විසින් ද, ආතර් සී. ක්ලාක් ආයතනයේ පෘථිවි ග්‍රාහක මධ්‍යස්ථානයෙහි මෙහෙයුම් කටයුතු ඉංජිනේරු කවීන්ද්‍ර සම්පත් විසින් ද සිදු කරන ලදී.
ආතර් සී. ක්ලාක් ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා කිට්සුනේ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ දෙවැනි මෙහෙයුම වන කිට්සුනේ චන්ද්‍රිකාව නිර්මාණය කොට කක්ෂගත කිරීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක්. මෙම කිට්සුනේ චන්ද්‍රිකාව රවණ – 01ට වඩා 6 ගුණයක විශාලත්වයෙන් යුක්ත අතර එය තාක්ෂණික අතින් සංකීර්ණ චන්ද්‍රිකාවක්. පරීක්ෂණ මෙහෙයුම් රැසක් සිදු කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන් ම චන්ද්‍රිකා සන්නිවේදනයේ දී භාවිත වන සන්නිවේදන පද්ධති කිහිපයක් පිළිබඳ පරීක්ෂණ මෙහෙයුම් රැසක් මේ හරහා සිදු කිරීමට නියමිතයි. ඒ වගේ ම පෘථිවි නිරීක්ෂණ කටයුතු සඳහා යොදාගන්නා තියුණු කැමරා පද්ධතියක් මගින් පෘථිවියෙහි 5 ජප තරම් කුඩා ප්‍රදේශයක් වුවත් පරීක්ෂා කිරීමේ සහ ජායාරූපගත කිරීමේ හැකියාව පවතිනවා.
කක්ෂගත කරන ලද මෙම කිට්සුනේ චන්ද්‍රිකාව නිරුපද්‍රිත ව මේ වන විටත් අභ්‍යවකාශයේ සිට පෘථිවිය සමග සාර්ථක සම්බන්ධතා පවත්වනවා. එය ශ්‍රී ලංකාව හා සම්බන්ධ වන්නේ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඇති පෘථිවි ග්‍රාහක චන්ද්‍රිකා මධ්‍යස්ථානය මගින්. කිට්සුනේ චන්ද්‍රිකාවෙන් ලබා ගන්නා අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් තවත් නැනෝ චන්ද්‍රිකාවක ඉංජිනේරු ආකෘතියක් නිර්මාණය කෙරෙමින් පවතිනවා. ඒ අනුව පියවරෙන් පියවර අපේ තාක්ෂණික දායකත්වයන් වර්ධනය කර ගැනීමටත් ඊට අවශ්‍ය විද්‍යාගාර පහසුකම් වර්ධනය කිරීමටත් ආතර් සී. ක්ලාක් ආයතනය බලාපොරොත්තු වෙනවා.
මෙම කිට්සුනේ නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කිරීම මගින් ශ්‍රී ලංකාව වැනි රටකට ප්‍රතිලාභ රැසක් හිමි වෙනවා. අභ්‍යවකාශ තාක්‍ෂණය පදනම් කරගත් ආර්ථික රටාවක් ලෝකයේ ඇති වෙමින් පවතින අතර එය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 400ක් පමණ වනවා. මෙය 2040 පමණ වන විට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් පමණ වේ යැයි ආර්ථික විශේෂඥයන් පුරෝකථනය කර තිබෙනවා. මේ නිසා කුඩා චන්ද්‍රිකා නිර්මාණයට අවශ්‍ය අංගෝපාංග, මෘදුකාංග නිර්මාණයට සුදුසු ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීම ආතර් සී. ක්ලාක් ආයතනයේ බලාපොරොත්තුවයි. ඒ හරහා ලෝක ආර්ථිකයේ කොටසක් අපටත් ලබා ගැනීමට හැකි වේ වි.
මෙම නැනෝ චන්ද්‍රිකාව ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී කඩඉමක්. අභ්‍යවකාශ තාක්‍ෂණය පිළිබඳ අපේ දැනුම ශක්‍යතාවය වැඩිදියුණු කර ගන්නට සංවර්ධනය කර ගන්නට වගේ ම අපි උත්සාහ කරන්නේ මෙවැනි නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘති මගින් චන්ද්‍රිකා සැලසුම් කිරීම හා නිර්මාණය ඒ පිළිබඳ තාක්‍ෂණික ශක්‍යතාවයන්, අත්දැකීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට මේ ඔස්සේ ලබා දීමටයි. අනාගතයේ දී තාක්‍ෂණික අතින් වඩා සංකීර්ණ වූ චන්ද්‍රිකා රටට අවශ්‍ය සේවා ලබා ගත හැකි වන පරිදි අවශ්‍ය සියලු ම චන්ද්‍රිකා නො වුවත් යම් කිසි ප්‍රමාණයකට චන්ද්‍රිකා නිර්මාණය සදහා අත්දැකීම් මෙමගින් සෘජු ලෙස ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා.
තාක්‍ෂණය කියන්නේ අධි තාක්‍ෂණික ක්ෂේත්‍ර රැසක එකතුවක්. ලෝකයේ අද නැනෝ චන්ද්‍රිකා රැල්ලක්, එහෙම නැත්තම් අධි තාක්‍ෂණික කුඩා චන්ද්‍රිකා විශාල වශයෙන් භාවිත කිරීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා. කිට්සුනේ ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවක් වුවත් ඒ මගින් ගෝලීය වෙළෙඳපොළට යැවෙන සාම්ප්‍රදායික අපනයනයන් වෙනුවට අධිතාක්ෂණික ක්‍රම ඔස්සේ ලාංකික නිශ්පාදන ලෝක වෙළෙඳපොළට සැපයීමේ හැකියාව ලැබෙනවා වගේ ම ඒවාට ලොකු වටිනාකමක් ද ලැබෙනවා. චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් ලොව දිනූ රටවල් අතරට ශ්‍රි ලංකාව ද එකතුවීමට ලැබීම අප ලද ලෝක ජයග්‍රහණයක්.”
චින්තන විජයවර්ධන
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මාධ්‍ය)
ආතර් සී. ක්ලාක් ආයතනය