Home Science News වසර 59කට පසු බ්‍රහස්පති ලොව පෘථිවියට ඉතා සමීප වෙයි.

වසර 59කට පසු බ්‍රහස්පති ලොව පෘථිවියට ඉතා සමීප වෙයි.

by cmadurawala

සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වන බ්‍රහස්පති ග්‍රහලොව පෘථිවියට වඩාත් ම ළං වන පිහිටීමකට ලබන සතියේ එළඹීමට නියමිතව තිබෙනවා.

පෘථිවියට එතරම් සමීප පිහිටීමකට බ්‍රහස්පති ග්‍රහලොව මීට පෙර පැමිණ තිබෙන්නේ 1963 වසරෙ ඔක්තෝබර් මස 8වෙනි දිනයේයි.

ඒ අනුව වසර 59කට පසු එළඹෙන ලබන සැප්තැම්බර් 26 සඳුදා දින මේ දැවැන්තයා අපේ ලොවට කිලෝමීටර් මිලියන 590ක් තරමට ළංවනු ඇති.

මේ පිහිටීමේදි බ්‍රහස්පති ග්‍රහලොව පවතින්නේ පෘථිවියට ප්‍රතිපක්ෂ වන (Opposition) පිහිටුමකයි.

එහි අදහස පෘථිවියේ සිට බලන විට සූර්යයා පිහිටන දිශාවට හරියටම ප්‍රතිවිරුද්ධ වන දිශාවේ පිහිටීමයි.

එවැනි පිහිටීමක දී සූර්යයා බටහිර ක්ෂිතිජයෙන් බැස යන මොහොතේ ම ග්‍රහලොව නැගෙනහිර ක්ෂිතිජයෙන් පායමින් පවතිනවා.

එවිට පෘථිවිය පවතින්නේ සූර්යයා සහ බ්‍රහස්පති ලොවට මැදින් ඒක රේඛීය වන පිහිටීමකයි.

මෙවැනි පෘථිවියට ප්‍රතිපක්ෂ වීම් සාමාන්‍යයෙන් බ්‍රහස්පති ග්‍රහලොවට එතරම් විරල දෙයක් නොවෙයි. ඒ අනුව සෑම වසර 13කට වරක් බ්‍රහස්පති පෘථිවියට ප්‍රතිපක්ෂ වීම් සිදුවෙනවා. එවිට බ්‍රහස්පති ග්‍රහලොව වසරේ අන් කවරදාටත් වඩා දීප්තිමත්ව හා විශාල ව පෙනෙනවා.

එහෙත් පෘථිවියේ මෙන් ම බ්‍රහස්පතිගේ ද සූර්යයා වටා සිදුවන පරිභ්‍රමණයන් හරියට ම වෘත්තාකාර කක්ෂවල සිදු නොවන නිසා ම වසරින් වසර මෙවැනි ප්‍රතිපක්ෂ වීම් වල දී ග්‍රහලෝක දෙක අතර පවතින දුර වරින්වර වෙනස් වෙනවා.

හිරු වටා එක් වටයක් පරිභ්‍රමණය වීමට පෘථිවියට අපේ දින 365ක පමණ කාලයක් ගත වුණත් බ්‍රහස්පති ග්‍රහලොවට පෘථිවි දින 4,333ක කාලයක්, එනම් වසර 12කට ආසන්න කාලයක් ගත වනවා.

මෙවර සිදුවන බ්‍රහස්පතිගේ ප්‍රතිපක්ෂවීමේ විශේෂත්වය වන්නේ එදින ග්‍රහලොව පෘථිවියට වඩාත්ම සමීප වන භූ සමීපකය (Perigee) නම් පිහිටීමට පැමිණීමයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් 26 වෙනි දින බ්‍රහස්පති ලොව පෘථිවියට කිලෝමීටර් මිලියන 590ක් තරම් ළං වුව ද එය පෘථිවියෙන් ඈත්වන පිහිටීමේ, එනම් භූ දුරකයේ (Apogee) පවතින විට එයට පෘථිවියේ සිට තිබෙන දුර කිලෝමීටර් මිලියන 960ක් පමණ වෙනවා.

එක්සත් ජනපදයේ ඇලබාමා හි පිහිටි මාර්ෂල් අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥ ඇඩම් කොබෙල්ස්කි පවසන්නේ සැප්තැම්බර් මස 26 හෝ එයට පෙර හෝ පසු දින කීපය බ්‍රහස්පති නිරීක්ෂණයට අතිශයින් ම සුදුසු බවයි.

හොඳ දෙනෙතියකින් පවා ග්‍රහලොවේ වායුගෝලීය පටි (අඩු තරමින් මධ්‍ය පටිය) මෙන් ම අයෝ, යුරෝපා, ගැනිමීඩ්, කැලිස්ටෝ යන ගැලිලියානු චන්ද්‍රයින් තුනක් හෝ හතර ම දැකිය හැකිවනු ඇති බව ඔහු සඳහන් කරනවා.

Space.com සහ NASA Blogs Home ඇසුරිනි.

ප්‍රේමශාන්‍ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications