Tesla සමාගම යටතේ නිපදවෙන ඔප්ටිමස් (Optimus) මානවරූපී රොබෝවාගේ සංවර්ධනය වෙමින් පවතින මූලාකෘතියක් පසුගිය සැප්තැම්බර් මස අවසන් සතියේ දී ප්‍රදර්ශනය කෙරුණා. ඒ ටෙස්ලා සමාගමෙන් නම් කර ඇති ‘කෘත්‍රිම බුද්ධි දිනය’ සමරමින්.
ටෙස්ලා නිර්මාතෘ ඊලෝන් මස්ක් Optimus නමින් යුතු රොබෝවකු නිපදවන බවට නිවේදනය කළේ පසුගිය 2021 වසරේ සැප්තැම්බර් 20 දා යි. එදින රොබෝවාගේ හැඩරුවට සමාන ඇඳුමක් ඇන්ද වූ නිරූපණ ශිල්පියෙකුගේ මාර්ගයෙන් ඒ පිළිබඳ හඳුන්වා දීමේ කටයුතු සිදු වුණා. මෙවර රොබෝවාගේ සංවර්ධනය වෙමින් පවතින මූලාකෘතියක් ප්‍රදර්ශනය කළ හැකි වන තරමට සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් සිදු කෙරී තිබුණා. අමෙරිකන් ඩොලර් 20,000ක මුදලකට අළෙවි කළ හැකි පරිදි නිපැයෙන මෙය මස්ක්ගේ වචනයෙන් ම කියතොත් ‘මිනිස් ශිෂ්ටාචාරයේ මූලික ම රූපාන්තරණයක්.’ තවත් වසර පහක කාලය ඇතුළත මෙය වෙළඳපොළට හඳුන්වා දිය හැකි බවයි Tesla සමාගම පවසන්නේ.
මෙවර ප්‍රදර්ශනය කළ රොබෝවා, Optimusගේ සංකල්පමය නිමාවෙන් දුරස්, හුදු පිට වැස්මක් රහිත රොබෝ ආකෘතියක් ලෙස දිස් වුණා. කේබල වැනි ආධාරකවලින් තොර ව නිදහසේ ඇවිද යාමේ අවස්ථාව මුලින් ම එයට ලැබුණේ එදිනයි.
මේ රොබෝවාගේ මොළය ලෙස ක්‍රියා කරන්නේ Tesla ආයතනයේ ම නිෂ්පාදිත Tesla AI චිපයයි. සන්ධි ලෙස ක්‍රියාකරන actuators පිහිටුවා ඇත්තේ මිනිස් ශරීරයක් උදාහරණයට ගෙන එපරිද්දෙන් ම යි. එහි දෑතට අංශක 11ක වපසරියක් තුළ චලනය වීමේ නිදහස තිබෙනවා.
Tesla සමාගමට වුවමනා වී ඇත්තේ ක්‍රියා කලාපය අතින් මිනිසා ප්‍රතිස්ථාපනය කළ හැකි රොබෝවකු නිපදවීමයි. නමුත් ඒ හැකි උපරිමයෙන් එහි ප්‍රවේශම් සහගත බව ගැන සැලකිලිමත් වෙමිනුයි. Tesla මෙන් ම SpaceX සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මිශ්‍ර අදහස් දරන්නෙක්. ඔහු වරෙක කියා තිබුණේ කෘත්‍රිම බුද්ධිය මිනිසාට එරෙහි ව වැඩ කරන යුගයක් වුව ද උදාවිය හැකි බවයි. “අපට හැම මොහොතක ම අවශ්‍ය ප්‍රවේශම් සහගත ගමනක් යන්න. අපට අවශ්‍ය නෑ ටර්මිනේටර් ගිය පාරේ යන්න.” ඔහු පැවසුවේ මිනිසුන් වෙත විනාශය ගෙන එන රොබෝවෙකු ගැන කියැවෙන Terminator චිත්‍රපටය ද ආවර්ජනය කරමින්.
සත්‍ය හෙට්ටිආරච්චි