කීර්තිමත් අමෙරිකානු තාරකා හා තාරකා භෞතික විද්‍යාඥ ෆ්‍රෑන්ක් ඩ්‍රේක් ඉකුත් සිකුරාදා (සැප්තැම්බර් 02) අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඔහුගේ වයස 92ක්.
ෆ්‍රෑන්ක් ඩ්‍රේක් ලෝ පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන විද්‍යාඥයකු බවට පත් වන්නේ 1961 දී ඔහු විසින් හඳුන්වා දෙන ලද, ඔහුගේ ම නමින් නම් කර ඇති ඩ්‍රේක් සමීකරණය (Drake Equation) නිසයි. අප ජීවත් වන ක්ෂීරපථයේ අප හා සන්නිවේදනය කිරීමට හැකි තරම් දියුණු ශිෂ්ටාචාර කෙතරම් ප්‍රමාණයක් තිබේ ද යන්න මෙමගින් ගණනය කෙරෙනවා. කෙසේ නමුත් ඩ්‍රේක් මෙම සමීකරණය නිර්මාණය කළේ ගණිතමය වශයෙන් නිවැරදි පිළිතුරක් ලබා ගන්නවාට වඩා පිටසක්වළ ජීවය සෙවීම පිළිබඳ විද්‍යාඥයන් උත්තේජනය කිරීමේ අදහසිනුයි. මේ අපූරු සමීකරණය පහත දැක්වෙන පරිදි පෙළගැස්විය හැකි ය.
N = R*fpneflfifcL
N = මිනිස් වර්ගයා සමග රේඩියෝ පණිවුඩ හුවමාරු කිරීමේ හැකියාවක් ඇති පාරභෞමික ශිෂ්ටාචාර සංඛ්‍යාව
R∗ = ක්ෂීරපථ මන්දාකිණිය තුළ තරු බිහිවන සාමාන්‍ය වේගය
fp = ඒ තරු අතරින් ග්‍රහ පද්ධති සහිත තරු සංඛ්‍යාව
ne = ඒ ග්‍රහ පද්ධතීන් අතුරින් ජීවයක් හට ගැනීමට හිතකර පාරිසරික තත්ත්වයක් ඇති ග්‍රහලෝකවල සාමාන්‍යය
fl = ජීවයට හිතකර මෙන් ම යම්කිසි කලෙක දී නියත වශයෙන්ම ජීවයක් හටගන්නා ග්‍රහලෝක ගණන
fi = ජීවය හටගත් ග්‍රහලෝක අතුරින් දියුණු ශිෂ්ටාචාරයක් ගොඩ නැගී ඇති ග්‍රහලෝක සංඛ්‍යාව
fc = එම බුද්ධිමත් ශිෂ්ටාචාරයක් පවතින ග්‍රහලෝක අතුරින් පණිවුඩ හුවමාරු කරගැනීමට තරම් දියුණු තලයකට පැමිණ ඇති ශිෂ්ටාචාර සංඛ්‍යාව
L = හසුකරගත හැකි සංඥා නිකුත් කරන ලද දියුණු ශිෂ්ටාචාරයක පැවැත්ම දිගහැරෙන කාල සීමාව
රේඩියෝ තරංග මගින් සන්නිවේදනයේ යෙදිය හැකි දියුණු පාරභෞමික ශිෂ්ටාචාර පිළිබඳ ගවේෂණය කිරීම වෙනුවෙන් පටන් ගත් SETI ව්‍යාපෘතියේ ආරම්භක සාමාජිකයෙකු වූ ඩ්‍රේක්, කාල් සේගන් වැනි සමකාලීනයන් සමග එක් ව එම ක්ෂේත්‍රයේ ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා. පුවටෝ රීකෝවේ පිහිටි ඇරකයිබෝ ගුවන්විදුලි දුරේක්ෂය, ගුවන්විදුලි තාරකා විද්‍යා පර්යේෂණායතනයක් බවට පත් කරන්නට ඔහු දැරුවේ සුළුපටු වෙහෙසක් නොවෙයි. ඔහු එහි අධ්‍යක්ෂවරයා ලෙස ද කලක් සේවය කරනු ලැබුවා. ගුවන්විදුලි සංඥා නිකුත් කරන ප්‍රභවයන් වන පල්සාර් පිළිබඳ මුල් කාලීන පර්යේෂණවලට ද ඔහු සිය දායකත්වය සැපයුවා. 1972 දී අභ්‍යවකාශගත කළ පයනියර් 10 හා 11 යානාවල අන්තර්ගත කළ මානව පැවැත්ම පෙන්වා දෙන ඵලකය සැලසුම් කරන්නට ද ඔහු සම්බන්ධ වුණා. 1974 දී ඇරකයිබෝ ගුවන්විදුලි දුරේක්ෂයෙන් M13 තරු පොකුර වෙත සම්ප්‍රේෂණය කරන ලද ‘ඇරකයිබෝ පණිවුඩය’ ද සැකසුවේ ඔහුයි. සෞරග්‍රහ මණ්ඩලයේ දළ සැකැස්ම ද මිනිසාගේ DNA අණුවේ සැකැස්ම ද කෙටියෙන් විස්තර කෙරෙන එය ද්වීමය සංඛ්‍යා 1679කින් යුතු වූ අතර 1 සහ 0 යොදාගනිමින් තත්පරයට බිටු 10ක වේගයකින් විකාශය වුණා.
1930 මැයි 28 දා චිකාගෝ ප්‍රාන්තයේ ඉලිනොයිස් හි දී උපත ලැබූ ෆ්‍රෑන්ක් ඩොනල්ඩ් ඩ්‍රේක් කුඩා කල සිට ම ඉලෙක්ට්‍රොනික යෙදවුම් පිළිබඳව මෙන් ම රසායන විද්‍යාවටත් දැඩි ඇල්මක් දැක්වූ අයෙක්. පෘථිවියට පිටස්තර ලෝකවල හටගන්නා ජීවය ගැන සිත යොමු කරන්නට ඔහු පටන් ගත්තේ අට වැනි වියේ පසුවද්දී බව ඔහු ම පසු කලක කියා තිබුණා.
Space.com හා National Geographic ඇසුරිනි.
සත්‍ය හෙට්ටිආරච්චි