විශ්වය සැබැවින් ම අරුම පුදුම දේවල් රැසකින් පිරී තිබෙනවා. ඒවා අතුරින් තවත් එකක දසුන් අප වෙත ලබාදීමට ජේම්ස් වෙබ්ගේ අධෝරක්ත ඇස් සමත් ව තිබෙනවා. එය නම් අසාමාන්‍ය ආලෝක වළලු රැසක් පිරිවරාගත් තරුවක දර්ශනයයි.
පෘථිවියෙන් ආලෝක වර්ෂ 5,600ක් පමණ දුරින් සිග්නස් තාරකා මණ්ඩලයේ පිහිටා ඇති මෙය ඇත්ත වශයෙන් ම දුර්ලභ ද්විත්ව තරු මණ්ඩලයක්. එකිනෙකට සමීපව ගමන් කරන විට මේ තරු ද්විත්වයේ අන්තර්ක‍්‍රියා මඟින් නිශ්චිත කාලානුරූපී දූවිලි පිපිරීම් ඇති කෙරෙනවා. මෙසේ ඇතිවන දූවිලි කවච අධෝරක්ත කිරණ නිකුත්කරමින් දිලිසෙන අතර මේ නිසා වෙබ්හි MIRI වැනි සංවේදී උපකරණවලට ඒවා වඩාත් පැහැදිලි ව හා සවිස්තරාත්මක ව සේයාරූවලට හසුකරගන්නට පුළුවන්.
මේ තාරකා පද්ධතිය WR 140 නමින් හැඳින්වෙන අතිශය දුර්ලභ Wolf-Rayet තාරකාවක් සහ තවත් දුර්ලභ අභ්‍යවකාශ වස්තුවක් වන O-type තාරකාවකින් සමන්විත ව තිබෙනවා. Wolf-Rayet යනු ඉතා උණුසුම්, දීප්තිමත් හා පැරණි තාරකා විශේෂයක්. මේ තාරකා විශේෂයේ තවත් විශේෂත්වයන් කිහිපයක් වන්නේ ඒවායේ සැලකිය යුතු කාබන් ප‍්‍රමාණයක් ක්ෂය වී තිබීම, නයිට‍්‍රජන් හා කාබන්වලින් පොහොසත් වීම හා ඉතා ඉහළ වේගයකින් ස්කන්ධය අහිමි වෙමින් පැවතීමයි.
දූවිලි කියන්නේ කාබන් ආකාරයක්. තාරකා පද්ධතියේ ඇති තරු දෙකෙන් පාරජම්බූල කිරණ අවශෝෂණය කර ඒ වටා ඇති දූවිලි රත් වන අතර එයින් තාප විකිරණ පිට කරනවා. ජේම්ස් වෙබ් දුරේක්ෂයට හසු වී ඇත්තේ මෙයයි. පසුව මෙම වළලු ප්‍රසාරණය වෙමින් හා සිසිල් වෙමින් ගොස් අවකාශයේ විසිර යනවා. මේ තරු දෙක එකිනෙකා වටා යෑමට අවුරුදු 7.94ක කාලයක් ගන්නා අතර මෙ නිසා සෑම අවුරුදු 7.94කට වරක් මෙවැනි දුහුවිළි වලාවක් ඉන් පිටවනවා. විද්‍යාඥයන් පවසන්නේ වෙබ් දුරේක්ෂයට මෙවැනි වළලූ 20ක් පමණ දෘශ්‍යමාන වී ඇති බවයි. ඉන් අදහස් වන්නේ වසර 160ක පමණ කාලයක් තිස්සේ නිකුත් කළ දූවිලි වළලු මෙසේ නිරීක්ෂණය වන බවයි.
මේ වන විට පර්යේෂකයන් මේ අපූර්ව නිරීක්ෂණ සම්බන්ධයෙන් පර්යේෂණ පත‍්‍රිකාවක් සකස් කරමින් පවතින අතර පර්යේෂකයන් පවසන්නේ අප මේ අසාමාන්‍ය තාරකා පද්ධතිය සම්බන්ධයෙන් තවත් අලුත් තොරතුරු සොයා ගත හැකි වනු ඇති බවයි.
Sciencealert ඇසුරෙනි
තරුෂි කෞෂානි