සෞරග්‍රහ මණ්ඩලයේ සිටින රූමත් ම සාමාජිකයා ලෙස හැඳින්වෙන්නේ සෙනසුරු ග්‍රහයායි. ඒ අලංකාරයට හේතුව වන්නේ එය වටා ඇති වළල්ලයි. ‘වළල්ල’ යනුවෙන් හැඳින්වූවත් ඒ වටා සැබවින් ම වෙන්කර හඳුනාගත හැකි එකිනෙකට වෙනස් වේගයන්ගෙන් භ්‍රමණය වන වළලු හතක් තිබෙනවා. මේවා සෑදී තිබෙන්නේ ග්‍රහක කැබලිවලින්. බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් මෙන් ම කුයිපර් පටියේ ඇති හෝමියා නම් වාමන ග්‍රහයා වටාත් වළලු පිහිටියත් ඒවා සෙනසුරුගේ මෙන් විශාලත්වයකින් යුතු වන්නේ නැහැ.
මේ ග්‍රහක වළලු බිහි වී මේ වන විට වසර මිලියන 100ක් පමණ බවයි සැලකෙන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය සිදු වන්නට පටන් ගත් ඉකුත් වසර බිලියන 4.5 සමග සලකා බලනවිට මෙය ඉතා මෑතක දී සිදු වූවක් ලෙස හැඳින්විය හැකියි. එසේ ම විද්‍යාඥයන්ගේ මතයට අනුව ඒවා තවත් වසර මිලියන 100ක් ඇතුළත විසිරී යාමට නියමිතයි. සෙනසුරු වටා රැස් වී ඊට අමුතු ම චමත්කාරයක් එක් කරන මේ වළලු සෑදෙන්නට හේතුව කුමක් ද යන වග වසර ගණනාවක් තිස්සේ ග්‍රහ විද්‍යඥයන්ගේ සිත් පැහැරගත් පැනයක් වුණා. තරුණ වියේ පසුවන මේ වළලු හත සෞරග්‍රහ මණ්ඩලය බිහි වී මෙතරම් කාලයකට පසු බිහි වූයේ ඇයි ද යන පැනය විවිධ මතවාද ඔස්සේ මෑතක් වන තුරු දෝලනය වෙමින් පැවතියා.
සෙනසුරුගේ අනෙකුත් අසාමාන්‍යතා පිළිබඳ අධ්‍යයනය කරමින් සිටි පර්යේෂකයින් කණ්ඩායමක් මේ වන විට ඊට පිළිගතහැකි මට්ටමේ පිළිතුරක් සොයාගෙන තිබෙනවා. ඔවුන් උපකල්පනය කරන්නේ වසර මිලියන 100කට ඉහත කාලයක දී සෙනසුරු වටා කක්ශගතව පැවති උපග්‍රහයෙකුගේ විනාශ වීම හේතුවෙන් මේ වළලු නිර්මාණය වන්නට ඇති බවයි. මේ උපකල්පනය මගින් වළලුවල සම්භවය පමණක් නොව, සෙනසුරුගේ ඇති තවත් අසංකූලතා කිහිපයකට ම හේතු පැහැදිලි කරනවා. සෙනසුරු ග්‍රහයා පිහිටන්නේ අක්ෂයට අංශක 26.7 ක ඇළයකින් යුතුවයි. ඒ තත්ත්වය පෘථිවියට, අඟහරුට මෙන් ම නෙප්චූන්ට ද සමාන වුවත් මේ වායු යෝධයාගේ ඇළය කාලයත් සමග වැඩි වීම විශේෂත්වයක්. විද්‍යාඥයින් සිතා සිටියේ මෙය සෙනසුරුගේ විශාලතම උපග්‍රහයා වන ටයිටන්ගේ බාහිර් සංක්‍රමණය (Outward migration) නිසා සිදුවන්නත් බවයි. පෙර කරන ලද පර්යේෂණ මගින් සොයාගෙන තිබුණේ සෙනසුරුත්, ටයිටනුත්, නෙප්චූන් ග්‍රහයාත් අතර ඇති ගුරුත්ව අන්තර්ක්‍රියා මේ සඳහා සෘජු ව බලපාන බවයි. සෙනසුරුගේ භ්‍රමණ වේගය යුරේනස්ගේ පරිභ්‍රමණ වේගයට සමාන වීම නිසා ඔවුන් දෙදෙනා අතර කුමක් හෝ අනුනාද සම්බන්ධයක් තිබෙන බව කල් තියා හඳුනාගෙන තිබුණා. ග්‍රහයන් දෙදෙනාගේ ආනතියටත් මෙය හේතුවක් බව සැක කෙරුණා.
කෙසේ නමුත් මැසචුසෙට්ස් තාක්ෂණායතනයේ තාරකා විද්‍යාඥ ජැක් විස්ඩම් විසින් මෙහෙයවන ලද පර්යේෂණ කන්ඩායමක් විසින් සෙනසුරු අධ්‍යයනයට ගිය කැසිනි යානය මගින් එවන ලද ගුරුත්වාකර්ෂණ දත්තත්, ග්‍රහයාගේ අභ්‍යන්තර සැකැස්ම දැක්වෙන මොඩලයකුත් යොදාගනිමින් සෙනසුරු හා යුරේනස් සමග ඇති අනුනාදයට (resonance) ඉන් රුකුල් සැපයේ දැයි සොයා බැලුණා. ඔවුන් පුදුමයට පත් කරමින් පෙනී ගියේ එසේ නොවන බවයි.
සෙනසුරු සතු ව මේ වන විට උපග්‍රහයන් 82ක් සිටිනවා. අතීතයේ යම් කලෙක තිබී විනාශයට පත් වූ උපග්‍රහයෙකු නිසා සෙනසුරුගේ චලිතයේ වෙනසක් සිදුවිණි නම් එය මේ අනුනාදයෙන් සෙනසුරු මුදාගන්නට සමත් බව උපකල්පනය කෙරුණා. Chrysalis නමැති මනඃකල්පිත උපග්‍රහයෙකු ඇතුළත් කරගනිමින් සිදුකළ පරිගණක සමාකරණයන් ගණනාවකින් අනතුරුව නිගමනයකට පැමිණීමට පර්යේෂකයන් සමත් වුණා. ඔවුන් පවසන්නේ අදින් වසර මිලියන 160කට පෙර Chrysalis චන්ද්‍රයාගේ කක්ෂය බිඳවැටීම නිසා එය සෙනසුරු වෙත ළං වන්නට ගත් බවයි. එහි කොටස් 99%ක් ම සෙනසුරු මතට කඩා වැටෙන්නට ඇති බවත්, ඉතිරි වූ 1% කක්ෂගත ව ශේෂ වීම නිසා පසු කාලීන ය වළලු නිර්මාණය වන්නට ඇති බවයි. බොහෝ උපග්‍රහයන්ගේ මෙන් මේ උපග්‍රහයාගේත් අයිස් බහුල ව තිබෙන්නට ඇති බව උපකල්පනය කළහොත් එය, වර්ථමානයේ සෙනසුරු වළලුවල ඇති ග්‍රහක තුළින් ද විශාල වශයෙන් අයිස් හමු වීම සාධාරණීකරණය කරනවා.
Science Alert ඇසුරෙනි
සත්‍ය හෙට්ටිආරච්චි