වසර මිලියන 380කට පෙර විසූ ෆොසිලභවනය වුණු මත්ස්‍යයෙකුගේ දේහය තුළින් ඛනිජකරණයට ලක්වූ හදවතක් පාෂාණිධාතු විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. අපේ ග්‍රහලෝකයට අයත්ව තිබූ පැරණිතම පෘෂ්ඨවංශී අවයවයක් ලෙස සැලකෙන මෙම සොයාගැනීම පිළිබඳව සැප්තැම්බර් මස 15 දින Nature ජර්නලයේ වාර්තාවක දැක්වෙනවා.
මෙය මෙතෙක් විද්‍යාඥයන්ට හමුවී තිබෙන පැරණිතම හදවත ද වනවා. මෙය විශ්මයජනක සොයාගැනීමක් වන්නේ මෘදු පටක හා අවයව ෆොසිල වාර්තා වල ඉතා විරල වන නිසයි. එයට හේතුව ෆොසිලභවනයට පත්වීමට පෙර ඒවා වියෝජනය වී විනාශ වීමයි.
විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති මේ හදවත අයත් මත්ස්‍යයා ජීවත්ව ඇත්තේ වසර මිලියන 419.2 ඉහත සිට වසර මිලියන 358.9 ඉහත දක්වා පැවති ඩෙවෝනියන් අවධිය තුළයි. ඌ වර්තමාන මෝරුන්ගේ ව්‍යුහයට සමාන වීමෙන් එමගින් පරිණාමය පිළිබඳ නව සාක්ෂි ද සැපයෙනවා.
ත්‍රිමාන පරිලෝකනය ( 3 – D Scanning ) ආධාරයෙන් ෆොසිලය පරීක්ෂා කළ හැකිවූ නිසා ම එය විච්ඡේදනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී නැහැ. එහි පරිරක්ෂණ තත්වයට ස්තුති වන්නට එම හදවතට අයත් කර්ණිකාවක්, කෝෂිකාවක් සහ එයින් රුධිරය පිට කෙරෙන මාර්ගයක් හඳුනාගත හැකිව තිබෙනවා.
මෙම ඉපැරණි මත්ස්‍යයාගේ හෘදය S – හැඩැති අවයවයක් වූ අතර එය කුටීර දෙකකින් සමන්විත වෙනවා. ඉහළින් ඇති කුඩා කුටීරය පහළ ලොකු කුටීරය මත පිහිටා තිබෙනවා.
” අවුරුදු විස්සකට වැඩි කාලයක් ෆොසිල පරීක්ෂා කර තිබෙන පාෂාණිධාතු විද්‍යාඥයෙක් හැටියට මෙම ත්‍රිමාන හා ලස්සනට පරිරක්ෂිත හදවත වසර මිලියන 380ක් පැරණි මුතුන්මිත්තකු තුළින් සොයාගැනීම සැබවින්ම පුදුම සහගතයි. ” එසේ පැවසුවේ මෙම පර්යේෂණයේ ප්‍රධානි, ඕස්ට්‍රේලියාවේ කර්ටින් සරසවියේ පාෂාණිධාතු විද්‍යාඥ හා මහාචාර්ය Kate Trinajstic.
මෙම ෆොසිලය අයත් සන්නාහ මත්ස්‍යයා වසර මිලියන 50ක පමණ කාලයක් පුරා ඩෙවෝනියන් අවධිය තුළ විසූ Arthrodira ගෝත්‍රයට අයත් හනු සහිත කරදිය මත්ස්‍යයෙක් වෙනවා. එම අවධිය අවසන සිදු වූ මහා වඳවීමට හසුව ඔවුන් මිහිතලයෙන් සමුගෙන තිබෙනවා.
පර්යේෂණ කණ්ඩායමේ විද්‍යාඥයින් ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා සහ තාක්ෂණ විද්‍යා සංවිධානය සහ ප්‍රංශයේ පිහිටි යුරෝපීය Synchrotron Radiation Facility වල සහායෙන් නියුට්‍රෝන කදම්බ සහ සින්ක්‍රොට්‍රෝන් X – කිරණ ප්‍රතිබිම්බනය මගින් ෆොසිලය තුළ එකිනෙකට වෙනස් ඛනිජ ඝනත්වයන් සිතියම්ගත කර තිබෙනවා. අස්ථි පමණක් නොව දර්ශනීය හදවතක්, ආමාශයක්, අන්ත්‍රය සහ අක්මාවක් පවා අනාවරණය වී ඇත්තේ එමගිනුයි.
Science Alert සහ Nature ඇසුරිනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි.