සාමාන්‍ය ජනතාව වෙත අළෙවිය සඳහා නිපැයෙන මුල් ම පියාඹන මෝටර් සයිකලය ලෙස සැලකිය හැකි ජපානයේ Aerwins සමාගමේ නිෂ්පාදිත XTurismo (එකස්ටූරිස්මෝ) වෙළඳපොළට හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. සමාගම පවසන්නේ බොහෝ විට ලබන වසරේ පටන් එහි අළෙවි කටයුතු ඇරඹිය හැකි බවයි. මේ නවීන පියාඹන XTurismo යානය පසුගිය දා අමෙරිකාවේ පැවැති Detroit Auto Show ප්‍රදේශයේ දී ප්‍රදර්ශනය කෙරුණා.
XTurismo ගුවනේ පා වීම සඳහා අවරපෙති යුගල හයක් භාවිතා කරනවා. යානයේ ඉදිරි පසින් සය පසුපසින් පිහිටා ඇති සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල ඒවා ප්‍රධාන අවර පෙති යුගල ලෙස හැඳින්වෙනවා. යානය ගුවනට එසැවීම සහ ගුවනේ තබා ගැනීම සඳහා වැඩි පරිශ්‍රමයක් දරන්නේ මේ විශාල අවරපෙති දෙකයි. ප්‍රමාණයෙන් කුඩා සෙසු අවරපෙති ප්‍රධාන අවරපෙති වටා සවිවන පරිදි නිපදවා තිබෙනවා. පාවෙන මෝටර් සයිකලයේ සමබරතාව පවත්වාගන්නේ මේ කුඩා අවරපෙති මගිනුයි. කෙටියෙන් පැවසුවොත්, මෙය දිස්වන්නේ මිනිසෙකුට නැගී ගමන් කළ හැකි විශාලත්වයකින් යුතු ඩ්‍රෝන යානයක් ලෙසයි.
මීටර 4ක දිගකින් ද, මීටර 2.5ක පළලකින්ද යුතු මේ යානය බල ගැන්වීම සඳහා අභ්‍යන්තර දහන එන්ජිමක් යොදා ගැනෙනවා. සමාගම පවසන්නේ පැයට කිලෝමීටර 97 ක (97kmh) උපරිම වේගයක් මෙය සතු බවයි. කාබන් ෆයිබර්වලින් නිර්මිත ශක්තිමත් බඳක් ඇති XTurismo යානය බාහිර බරක් පටවා නැති විට කිලෝග්‍රෑම් 300ක බරකින් යුක්තයි. එමෙන් ම කිලෝ 100ක් දක්වා බරැති අයබරක් (මිනිසුන් හෝ භාණ්ඩ) රැගෙන යාමේ හැකියාව එය සතු වනවා. ගුවනට නැගුණු පසු එයට විනාඩි 30 – 40ත් අතර කාලයක් එකදිගට පියාසර කළ හැකි බව Aerwins සමාගම සහතික කරනවා.
අමෙරිකාවේ ප්‍රදර්ශනය කෙරෙුණේ මේ වසරේ දී වුවත් එය ජපානයේ ප්‍රදර්ශනය කෙරුණේ ඉකුත් වසරේ දී යි. සමාගම පවසන්නේ මේ වසර තුළ දී XTurismo යානයේ ‘විශේෂ සංස්කරණ’ (limited editions) 200ක් පමණ අළෙවි වනු ඇති බවයි. දැනට මෙහි මිල ගණන් සටහන් ව ඇත්තේ රැමෙරිකන් ඩොලර් 777,000 ක් ලෙසයි.
සත්‍ය හෙට්ටිආරච්චි
(India Times සහ Futurism ඇසුරෙනි.)