Home Science News DNA මගින් තැනූ අපරාධකරුගේ රූපය දැඩි දෝෂාරෝපණ යටතේ ඉවත්කර ගැනේ

DNA මගින් තැනූ අපරාධකරුගේ රූපය දැඩි දෝෂාරෝපණ යටතේ ඉවත්කර ගැනේ

by Sathya

සැකකරුවෙකුගේ DNA යොදාගෙන ඔහුගේ රූපය ප්‍රතිනිර්මාණය කිරීමට දැරූ උත්සාහයක් පසුගිය දා වාර්තා වුණා. ඒ කැනඩාවේ එඩ්මොන්ටන් පොලිස් ස්ථානයෙන්. ඔවුන් එය සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ කර තිබුණේ අපරාධ කරුවෙකුගේ පෙනුම ‘කෙසේ වනු ඇත්දැයි’ ‘අනුමාන කරන්නට’ මේ ක්‍රමවේදය යොදාගත හැකි වනු ඇති බවයි.

නමුත් මහජනයාගෙන් මේ සඳහා ලැබුණු ප්‍රතිචාරයනම් යහපත් එකක් නොවෙයි. ඒ මේ තාක්ෂණය තවමත් නිසි ලෙස වැඩිදියුණු වී නො තිබීම නිසයි. සැඟවී සිටින අපරාධකරුවෙකු සෙවීම සඳහා ඇතැම් අවස්ථාවල දී ඔහුගේ මුහුණේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කරනු ලබනවා. නමුත් මෙවැනි අවස්ථාවල දී අනුමානයන් කළ නො හැකියි. අපරාධකරුගේ හෝ සැකකරුගේ ම බව 100%ක් තහවුරු කරගැනීමෙන් පසුවයි එසේ ඔහුගේ හෝ ඇයගේ රූප ප්‍රසිද්ධියට පත් කෙරෙන්නේ. විය හැකි මෙන් ම නො හැකි සම්භාවිතාවන් ඇති ව ඡායාරූප නිකුත් කිරීම නිසා ඇතැම් අවස්ථාවක දී අදාළ සිද්ධියට කොහෙත් ම අදාළ නැති අයෙකු පවා පටලැවෙන්නට පුළුවන්.

DNA යොදාගෙන සාර්ථක ලෙස අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කරගත් අවස්ථා එමටයි. නමුත් DNA මගින් එහි හිමිකරුවාගේ මහුණ ප්‍රතිනිර්මාණය කිරීමට තරම් තව ම තාක්ෂණය පරිණත අඩියකට පැමිණ නැහැ. එවන් පසුබිමක් යටතේ මේ ක්‍රමවේදය සක්‍රීය සේවයට යොදවා ගැනීම උචිත වන්නේ නැහැ. 

“DNA යොදාගත් පලියට කෙනෙකුගේ මුහුණේ පෙනුම, සමේ වර්ණය පිළිබඳ සියයට සියයක් නිරවද්‍ය අනාවැකියක් ලබාගන්නට බෑ. මේක බොහොම භයානක මුළාවක්.” ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි ජාන තාක්ෂණය පිළිබඳ කථිකාචාර්යවරයෙකු සේ ක්‍රියාකරන ආචාර්ය ඇඩම් රදර්ෆර්ඩ් ට්විටර් පණිවුඩයක් තබමින් මේ පිළිබඳ සිය අප්‍රසාදය පළ කළා. මෙසේ නිපදවන ලද ඡායාරූපයෙන් කළු ජාතිකයෙකු නිරූපණය වීමත් සමග කැනඩාවේ කාළ වර්ණ සමකට හිමිකම් කියන අප්‍රිකානු සම්භවයක් ඇත්තන් ද කිපී සිටින බව දක්නට ලැබුණා. 

පොලිසිය මගින් මේ තාක්ෂණික යෙදවුම මිල දී ගෙන තිබෙන්නේ Parabon NanoLabs නමැති තෙවන පාර්ශ්වීය සමාගමකින්. ඔවුන් සිය වෙබ් අඩවියේ සටහන් කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවලට “අපරාධකරුවන් – ඉක්මනින්” අල්ලා ගන්නට එය උදව්වන බවයි. ඉක්මනින් කවුරුන් හෝ අල්ලා ගැනීම අපරාධ පරීක්ෂණයක දී බහුල ව සිදු වුණත් තාක්ෂණය සමග මුහු වීමේ දී සිදුවිය යුත්තේ් නිරවද්‍යතාවත් රැකගෙන ඉක්මනින් ප්‍රතිඵල ලබා දිය හැකි ක්‍රමවේදයක් බවයි මේ පිළිබඳ අදහස් දක්වන ජාන විශේෂඥයන් පවසන්නේ. මේ තාක්ෂණය දියුණු විය යුතු බවට විවාදයක් නැහැ. නමුත් එය විශ්වාසවන්ත ප්‍රතිඵල ලබා දිය හැකි තත්ත්වයකට පත් වන තුරු යථා ලෝකයේ අපරාධ විසඳීම සඳහා භාවිතා නො කළ යුතුයි.

සමාජයෙන් එල්ල වූ දෝෂාරෝපණ හමුවේ සිය ට්විටර් ගිණුමෙන් අදාළ ඡායාරූපය ඉවත් කරගන්නට එඩ්මොන්ටන් පොලිස් ස්ථානය කටයුතු කර තිබුණා.

Futurism ඇසුරිනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications