Home Science News හරිතාගාර වායු විමෝචනය වාර්තා කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පත් වෙයි

හරිතාගාර වායු විමෝචනය වාර්තා කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පත් වෙයි

by Sathya

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කාබන් පියසටහන ගණනය කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය ලෙස ISO 14064: 2019 තත්ව සහතිකය ලබාගැනිමට සමත් වී ඇත. ඒ අවට පරිසරයේ විනාශය නොසලකා ආර්ථික වාසි සොයා යන සමාජ ප්‍රවණතාවට ප්‍රතිපක්ෂව ඔවුන් ආරම්භ කළ කාබන් උදාසීන කිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙසිනි.

කාබන් පියසටහන යනු යමෙකු හෝ කණ්ඩායමක් විසින් ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් තුළින් වායුගෝලයට පිට කරන හරිතාගාර වායු ප්‍රමාණයයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය (CFS) මඟින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණි. ඔවුන් විශ්වවිද්‍යාලය තුළ වායුගෝලයට පිට කරන හරිතාගාර වායු ප්‍රමාණයෙහි ක්‍රමවත්ව වාර්තා කරණයක් 2019 වසරේ සිට සිදු කර තිබූ අතර එම වාර්තාවට අනුව කාබන්ඩයොක්සයිඩ් ටොන් 3,838.56කට සමාන කාබන් පියසටහන් ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය මගින් විමෝචනය කර ඇත.
විශ්වවිද්‍යාලය සතු විදුලි ජනන යන්ත්‍රවල විමෝචන හා වාහන ඍජු විමෝචන සිදු කළ ආදිය ලෙස හඳුනාගත් අතර වක්‍ර විමෝචන ලෙස, මිල දී ගත් විදුලිය ආදිය සඳහන් කළ හැකි බව තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රියාන් පෙරේරා මහතා පැවසී ය.

“මෙම මට්ටමේ නිරවද්‍යතාවයකින් කාබන් පියසටහන් වාර්තාකරණයක් කිරීම පහසු කාර්යයක් නෙවෙයි. මේ සඳහා සියලු ම අධ්‍යන හා අනධ්‍යයන අංශවල පූර්ණ දායකත්වය අවශ්‍ය වෙනවා. මෙය අපිට සාර්ථක ලෙස සිදු කිරීමට හැකි වූයේ අප විසින් අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සහභාගීත්වය පිහිට වූ ‘කාබන් කළමණාකරණ කණ්ඩායමේ’ කැපවීම නිසා. අපි පුද්ගලික කාබන් පියසටහන් වාර්තා කිරීම සඳහා වෙබ් පිටුවක් නිර්මාණය කිරීමට ද කටයුතු කළා. ඊට අමතරව පුහුණු සැසි සහ වැඩමුළු මගින් අපගෙන් කාලගුණය කෙරෙහි වන බලපෑම පිළිබඳ දැනුවත් කිරීම් සිදු කළා. ඒ වගේ ම එය ඉදිරියටත් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” මෙම අධ්‍යනය තුළින් වායුගෝලයට පිට කරන හරිතාගාර වායු ප්‍රමාණය මෙන් ම ඒ හා සම්බන්ධ සංසිද්ධීන්වලට දක්වන දායකත්වය හා ඒවා අවම කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ව දැනුවත් භාවයක් ලබා ගැනීමට හැකි වූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය මඟින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාබන් තිර කිරීම සඳහා ස්ථාන තුනක් පවත්වාගෙන යාම දැනට සිදු කරයි. ඒ අතර යගිරල ප්‍රදේශයේ හෙක්ටයාර 145ක පහතරට තෙත් කලාපීය වැසිවනාන්තරක්, වන්නියාගම ප්‍රදේශයේ හෙක්ටයාර 400ක වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරයක්, සහ ඉත්තෑපාන ප්‍රදේශයේ හෙක්ටයාර 7ක කඩොලාන පරිසර පද්ධතියක් වේ.


Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications