Popular Science නම් ප්‍රකට ඇමරිකානු විද්‍යා සඟරාව විසින් 2022 වසරේ විශිෂ්ටයන් දහය (Brilliant 10) අතරට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන සමිත සමරනායක ද ඇතුළත් කර තිබෙනවා. වසර 150කට ඉහත 1872 වසරේ ඇරඹූ Popular Science මාසික විද්‍යා සඟරාව පසුගිය 2021 වසරේ අප්‍රේල් දක්වා මුද්‍රණයෙන් පළ කෙරුණද දැන් එය අන්තර්ජාලයේ පළවන ඩිජිටල් සඟරාවක් වෙනවා.
පසුගිය ඔක්තෝබර් 19 වෙනි දින එම සඟරාව මගින් ” විද්‍යාවේ නැගී එන පුද්ගලයින් දසදෙනා ” ගේ 2022 වසරේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන සමිත සමරනායක එක්සත් ජනපදයේ කෝනෙල් සරසවියේ සිවිල් සහ පරිසර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහාය මහාචාර්යවරයෙකු ලෙස සේවය කරනවා. මහා පරිමාණ ප්‍රවාහන පද්ධතිවල තිරසාර බව සහ සමාන ප්‍රවේශය වෙනුවෙන් විසඳුම් සෙවීම සඳහා ගණිතමය ආකෘති සහ ඇල්ගොරිතමයන් නිර්මාණය කිරීමේ කාර්යයේ නිරතව සිටින ඔහු ප්‍රවාහන කටයුතු කාර්යක්ෂම හා වැඩි දියුණු කිරීමේ ක්‍රම වෙනුවෙන් පර්යේෂණ කරනවා.
2017 වසරේදී ඔහු සහාය කතුවරයෙකු ලෙස PNAS ජර්නලයේ පළ කරන ලද පර්යේෂණ වාර්තාවකින් Uber සහ Lyft වැනි සමාගම් තම වාහන වඩා කාර්යක්ෂම ලෙස පිටත් කර යැවීමෙන් නාගරික වාහන තදබදය අඩු කිරීමට ලබා දිය හැකි දායකත්වය පිළිබඳව පෙන්වා දෙනු ලැබුවා. දැන් ඔහුගේ වැඩි අවධානය යොමු ව ඇත්තේ ‘last mile problem’ ලෙස හැඳින්වෙන ප්‍රධාන නගරාන්තර ප්‍රවාහන සේවාවන්ගෙන් තම ගමට හෝ නගරයට යෑමෙන් පසු කෙනෙක්ට තම නිවෙස වෙත යාමට ප්‍රාදේශීය ප්‍රවාහන සේවාවන් සපයා ගැනීමට ඇති දුෂ්කරතාවය මග හැරවීමටයි. මේ වන විට ඔහු විසින් යෝජිත ක්‍රමවේද අත්හදාබැලෙමින් පවතිනවා.
පසුගිය වසරවල දී එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව සහ ජාතික විද්‍යා පදනම මගින් ඇමරිකානු ඩොලර් මිලියන 5ක මූල්‍යාධාර සමිත සමරනායක සහ ඔහුගේ සහායකයන්ට ලබා දී තිබෙන්නේ ඔවුන්ගේ තිරසාර දැක්ම ප්‍රායෝගිකව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්.
“ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා” ලෙස සැලකෙන කොළඹ සරසවියේ විද්‍යා පීඨාධිපති හා පරිගණක විද්‍යා මහාචාර්යවරයා ලෙස සේවය කළ විද්‍යා ජ්‍යෝති, වී.කේ.සමරනායකයන් ගේ පුතෙකු වන මහාචාර්ය සමිත සමරනායක කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වෙනවා. ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව මෙරට සරසවි පාඨමාලාවකට ඇතුළත් වීමට පෙර ගෙවන වසරක කාලය තුළදී තමා විදෙස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මෙරටින් පිටත්ව ගිය බව ඔහුගේ කාර්ය භාරය පිළිබඳව නොබෝදා විදුසර කළ විමසුමකදී ඔහු සඳහන් කළා.
එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයෙන් (MIT) පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිය ලැබූ ඔහු එයින්ම පරිගණක විද්‍යාව සහ විදුලි ඉංජිනේරු විද්‍යාව වෙනුවෙන් පශ්චාත් උපාධිය ද ස්ටැන්ෆර්ඩ් සරසවියෙන් කළමණාකරණ විද්‍යාව සහ පර්යේෂණ ඉංජිනේරු විද්‍යාව සඳහා පශ්චාත් උපාධියද ලබා ගෙන තිබෙනවා.
2014 වසරේදී ඔහු බර්ක්ලි හි කැලිෆෝර්නියා සරසවියෙන් පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය දිනා ගත්තා. එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ඔහුට Dwight David Eisenhower Graduate Fellowship ප්රදානය කර තිබෙනවා.
NEWSWIRE ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි