ඩුබායි සිට මෙරටට පැමිණි කැළණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුට මන්කිපොක්ස් හෙවත් වඳුරුඋණ වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (නොවැ 04) වාර්තා වුණා. මේ හේතුවෙන් මේ ගැන මහජනතාව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අප ප්‍රධාන වසංගතවේද විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතාගෙන් විමසීමක් කළා. එහි දී ඔහු කියා සිටියේ මෙම වෛරසය ඉතා ම සමීප ඇසුරකින් පමණක් ආසාදනය වන බැවින් ජනතාව ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නො ගත යුතු බවයි.
“මේ රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන්නේ ඉතා ම සමීප ඇසුරකින් පමණයි. කෝවිඩ් වගේ රෝගය හදාගෙන කොහෙට හරි ගිය පමණින් තවත් අයට රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒ නිසා කෝවිඩ්වල දී වගේ ජනතාව මන්කිපොක්ස් රෝගයට බිය විය යුතු නැහැ.
සමීප ඇසුරක් කියන්නේ නිවසක නම් අම්මා , තාත්තා හෝ දරුවෙක්ට රෝගය තිබුනොත් ඒ පවුලේ උදවියට ආසාදනය වෙන්න පුළුවන්. එය සිදුවෙන්න පුළුවන් ලිංගික සම්ප්‍රේෂණයෙන් එහෙම නැති නම් රෝගියාගේ සිරුරේ හටගත් බිබිලි කැඩී පිටවන ලේ හා සැරව යම්කිසි තැනක ගෑවිලා, තවත් කෙනෙක්ගෙ තුවාලක ඒ සැරව ගෑවීමෙන් වගේ දෙයකිනුයි. ඒ නිසා මෙම රෝගය පැතිරීමේ සම්භාවිතාව ඉතා ම අඩුයි.”
මන්කිපොක්ස් රෝගය හා සැනිටයිසර් අතර කිසි ම සම්බන්ධයක් නැති බවත් පැවසූ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩි දුරටත් කියා සිටියේ, මහජනතාව මෙම රෝගයෙන් ආරක්ෂා වීමට සැනිටයිසර් පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි.
සහශ්‍රිකා දෙව්මිණි