Home Science News ලොව විශාලතම යැයි සැක කෙරෙන ජලජ වනාන්තරය හමුවෙයි

ලොව විශාලතම යැයි සැක කෙරෙන ජලජ වනාන්තරය හමුවෙයි

by Sathya

කැරිබියන් මුහුද යට වර්ග සැතපුම් 35,000ක් පුරා පැතිරී ඇති මුහුදු තෘණ වැඩුණු ජලජ වනාන්තරයක් සොයාගෙන තිබෙනවා. ඒ සෞදියේ කිං අබ්දුල්ලා විශ්වවිද්‍යාලයෙන් සිදු කළ අධ්‍යයනයක දී යි. පර්යේෂකයන් මත පළ කරන්නේ මෙය බොහෝ විට මෙතෙක් සොයාගෙන ඇති විශාලතම ජලජ වනාන්තරය විය හැකි බවයි. 

මේ සොයාගැනීම සිදු ව තිබෙන්නේ අහඹුවකින්. පර්යේෂණ කණ්ඩායමේ අරමුණ වී තිබුණේ මෝරුන් උපකාරයෙන් සාගර පත්ල අධ්‍යයනය කිරීමයි. ඔවුන් මේ සඳහා වරල් මත කැමරා සහ ස්ථානීය සංවේදක සවි කළ කොටි මෝරුන් (tiger sharks) යොදාගෙන තිබුණා. මේ මෝරුන් වනාන්තරයට ඉහළින් පිහිනමින් සිටින විටයි මේ අහඹු සොයාගැනීම සිදුකර තිබෙන්නේ. 

“මේ සොයාගැනීම පෙන්නුම් කරනවා අපි තවමත් සාගර ගවේෂණයේ කෙතරම් දුර්වල තැනක ද ඉන්නෙ කියලා. මහ ගැඹුරු තැන්වල විතරක් නෙවෙයි, අඩු ම ගාණේ නොගැඹුරු තැන්වල පවා.” මෙසේ කියන්නේ කිං අබ්දුල්ලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Carlos Duarte. 

Seagrass හෙවත් මුහුදු තෘණ ගහන පෙදෙස් බොහෝ සාගර ජීවීන් යැපෙන ආහාරවලින් සරු පෙදෙස් ද වනවා. ජල තලයට යටින් පිහිටන මෙවැනි තෘණ විශේෂ ගැන තවමත් මිනිසා නො දන්නා දෑ බොහොමයි. මේ මුහුදු තෘණ ගහනයන් චන්ද්‍රිකා ඡායාරූප මගින් ද නිරීක්ෂණය කිරීම අතිශය අපහසුයි. 

මේ නව සොයාගැනීමත් සමඟින් මෙ⁣තෙක් හඳුනාගෙන ඇති ගෝලීය මුහුදු තෘණ ගහනය 40%කින් ඉහළ යන බව Nature Communications ජර්නලයේ පළ වූ අධ්‍යයනයේ සඳහන් වනවා. වායුගෝලීය කාබන් අවශෝෂණය කරගන්නා මේවා දිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වය යම් තරමක් හෝ පහළට ඇද තබා ගන්නට ඉටු කරන්නේ සුළුපටු සේවයක් නොවෙයි.

The Guardian ඇසුරිනි.

සත්‍ය හෙට්ටිආරච්චි 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications