Home Science News සමුදුරෙහි පාවෙන ලොව විශාලම අයිස් කුට්ටිය  විනාශය කරා යන ගමනක

සමුදුරෙහි පාවෙන ලොව විශාලම අයිස් කුට්ටිය  විනාශය කරා යන ගමනක

by Sathya

පසුගිය ඔක්තෝබර් මස 31වෙනි දින NASA ආයතනයට අයත් Terra චන්ද්‍රිකාව මගින් සමුදුර මත පාවෙන ලොව සුවිශාලතම අයිස් කුට්ටියේ මෙහි දැක්වෙන ඡායාරූපය ලබාගෙන තිබෙනවා. NASA ආයතනයට අනුබද්ධිත NASA Earth Observatory වෙබ් අඩවිය මගින් පසුගිය නොවැම්බර් 4 වෙනි දින මාධ්‍ය වෙත නිකුත් කෙරුණු මෙම ඡායාරූපයෙහි දැක්වෙන A – 76 A නම් එම අයිස් කුට්ටිය ලන්ඩන් නගරයේ විශාලත්වය මෙන් දෙගුණයක් පමණ වෙනවා.

කිලෝමීටර් 135 ක් දිගැති හා කිලෝමීටර් 26ක් පළලැති A – 76A දැවැන්ත අයිස් කුට්ටිය උපත ලද්දේ දක්ෂිණ සාගරයට අයත් වෙඩල් මුහුදට මායිම් ව ඇන්ටාක්ටිකාවේ පිහිටි Ronne අයිස් පරයෙන් පසුගිය 2021 වසරේ මැයි මාසයේදී  කැඩී වෙන් වුණු  A – 76 අයිස් කුට්ටියෙනුයි.

එවිට ලොව විශාල ම පාවෙන අයිස් කුට්ටිය වූයේ එම A -76 අයිස් කුට්ටියයි. එහෙත් මාසයක කාලයක් ඇතුළත A – 76 අයිස් කුට්ටිය A – 76A , A – 76B සහ A – 76C යන කැබලි තුනකට කැඩී ගිය පසු ඉන් විශාල ම අයිස් කුට්ටිය ලෙස වෙන් වූයේ මෙම A – 76A අයිස් කුට්ටියයි.

පසුගිය වසරේ ඇන්ටාක්ටිකාවෙන් වෙන් වූ තැන් පටන් A – 76A අයිස් කුට්ටිය කිලෝමීටර් 2,000ක දුරක් ගමන් කර තිබෙනවා. චන්ද්‍රිකා ඡායාරූපයේ දැක්වෙන අන්දමට මේ වන විට එය පැසිෆික් සහ අත්ලාන්තික් සාගර යා කරමින් දකුණු ඇමරිකාවේ හෝන් තුඩුව සහ ඇන්ටාක්ටික් අර්ධද්වීපයට උතුරින් ඇති දක්ෂිණ ෂෙට්ලන්ඩ් දූපත් අතරින් ගලන Drake Passage නම් ප්‍රචණ්ඩ ජල ප්‍රවාහය තුළට ඇතුළු වී තිබෙනවා.

එහි දැක්වෙන පරිදි A – 76A අයිස් කුට්ටිය දැන් Drake Passage ප්‍රවාහයේ දකුණු කෙළවරට ආසන්නව Elephant දූපත සහ South Orkney දූපත අතරින් පවතිනවා.

Drake Passage ප්‍රවාහය මෙවැනි අයිස් කුට්ටි ජල සුසානයන් වෙත අවසන් ගමන් යැවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා. එයට ප්‍රධාන හේතුව Drake Passage ප්‍රවාහය හරහා ඇදී යන Antarctic Circumpolar Current  (ACC) නම් දියවැලයි. පෘථිවි ගෝලය වටා යන එක ම දියවැල වන මෙය සෑම තත්පරයකට ම ජලය ඝන මීටර් මිලියන 95 සිට 150 අතර ප්‍රමාණයක් බටහිර සිට නැගෙනහිර දෙසට ගෙන යනවා.

මෙහි ප්‍රතිඵලය ලෙස Drake Passage ප්‍රවාහය තුළ නැගෙනහිර දෙසට ඇදී යන A – 76A අයිස් කුට්ටිය අනතුරුව උතුරු දිශාවට එනම් සමකය දෙසට ඇදී යාමෙන් උණුසුම් ජලය තුළ දිය වී අවසන් ගමන් යාමේ තර්ජනයට හසු ව තිබෙනවා.

Live Science සහ Earth Observatory ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications