Home Science News විශාලතම හා කුඩාතම මිනුම් ඒකක සඳහා නව උපසර්ග පද හතරක් හඳුන්වා දෙයි

විශාලතම හා කුඩාතම මිනුම් ඒකක සඳහා නව උපසර්ග පද හතරක් හඳුන්වා දෙයි

by Sathya

සංඛ්‍යානමය දත්ත නිර්මාණය සහ සංචිත කිරීම වැඩි වන තරමට ලෝකයට වඩාත් විශාල මිනුම් ඒකක අවශ්‍ය වෙනවා.

ඒ අයුරින් ම අංශු භෞතික විද්‍යාවේ හා ක්වොන්ටම් විද්‍යාවේ භාවිතවලට අතිශයින් කුඩා මිනුම් ඒකක ද අවශ්‍යයි.

මේ අනුව නොබෝදා ප්‍රංශයේ වර්සේල්ස්හි පැවැත් වූ කිරුම් හා මිනුම් පිළිබඳ 27වෙනි මහ සමුළුවේ දී විශාලතම උපසර්ග පද  දෙකක් හා කුඩාතම උපසර්ග පද දෙකක් අලුතින් හඳුන්වා දෙනු ලැබුවා.

මෙම පද හතර යෝජනා කරන ලද්දේ එක්සත් රාජධානියේ ජාතික භෞතික විද්‍යා රසායනාගාරයේ මිනුම් අධ්‍යයන විද්‍යාව (Metrology) පිළිබඳ ප්‍රධානියා වන රිචඩ් බ්‍රවුන් විසිනුයි.

විශාලතම උපසර්ග පද ලෙස රොනා (ronna) සහ ක්වෙටා (quetta) පද දෙක ද, කුඩාතම උපසර්ග පද ලෙස රොන්ටො (ronto) සහ ක්වෙටො (quecto) පද දෙක ද මින් ඉදිරියට යොදා ගැනෙනවා.

සංකේතාත්මකව රොනා R අකුරෙන් ද, ක්වෙටා Q අකුරෙන් ද, රොන්ටො  r අකුරෙන් සහ ක්වෙටො q අකුරෙන් ද දැක්වෙනවා.

1 අගට බිංදු 27ක් ඇති සංඛ්‍යාව වන ඔක්ටිලියන (10^27) වාරයක් දැක්වීමට රොනා (R) උපසර්ගය ද, 1 අගට බිංදු 30ක් ඇති සංඛ්‍යාව වන නොනිලියන (10^30) වාරයක් දැක්වීමට ක්වෙටා (Q) උපසර්ගය ද යෙදෙනවා ඇති.

1991 වසරේ සිට මේ දක්වා භාවිතා කළ විශාල ම උපසර්ගය වූයේ 1 අගට බිංදු 24ක් ඇති සංඛ්‍යාව වන සෙප්ටිලියන (10^24) වාරයක් දැක්වීමට යොදන යොටා (Y) නම් උපසර්ගයයි.

ඒ අනුව පෘථිවියේ ස්කන්ධය යොටා ග්‍රෑම් 6,000ක් ( 6,000 Yg ) යයි කීමට වඩා එය රොනා ග්‍රෑම් 6ක් ( 6 Rg ) යනුවෙන් දැක්වීම පහසුයි.

එමෙන් ම සූර්යයාගේ ස්කන්ධය යොටා ග්‍රෑම් 2,000,000,000ක් ( 2,000,000,000 Yg ) යයි කීමට වඩා එය ක්වෙටා ග්‍රෑම් 2,000ක් (2,000 Qg ත) යනුවෙන් දැක්වීම පහසුයි.

බ්‍රහස්පති ග්‍රහලොවේ ස්කන්ධය ක්වෙටා ග්‍රෑම් 2ක් (2 Qg) පමණයි!

දත්ත සංචිත කිරීමේ දී මෙතෙක් යොදන යොටා බයිට් හෝ සිටා බයිට් වැනි විශාල ඒකක වෙනුවට වඩාත් විශාල රොනා බයිට් සහ ක්වෙටා බයිට් යන ඒකක අනාගතයේ දී භාවිතා වනු ඇති.

කුඩා ම උපසර්ග පද දෙකෙන් රොන්ටො (r) යන්න ඔක්ටිලියනයෙන් පංගුවක් (10 ^ -27) 

දැක්වීමට ද, ක්වෙටො (q) යන්න නොනිලියනයකින් පංගුවක් (10 ^ – 30) දැක්වීමට ද යෙදෙනවා ඇති.

මීට පෙර 1991 වසරේ සිට මේ දක්වා භාවිතා කළ කුඩා ම උපසර්ගය වූයේ සෙප්ටිලියනයකින් පංගුවක් (10 ^ – 24) දැක්වීමට යොදන යොක්ටො (y) නම් උපසර්ගයයි.

ඒ අනුව ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය යොක්ටො ග්‍රෑම් 0.001ක් (0.001 yg) යනුවෙන් දැක්වීමට වඩා එය රොන්ටො ග්‍රෑම් 1ක් (1 rg) ලෙස දැක්වීම පහසුයි.

අලුතින් හඳුන්වා දුන් උපසර්ග හතරේ සංකේත ලෙස යෙදෙන අකුරු හතර වන R, r, Q, q යන අකුරු මෙතෙක් භාවිතයේ ඇති උපසර්ග පද සඳහා නො යෙදෙන අකුරු  බව රිචඩ් බ්‍රවුන් පවසනවා.

npr.org ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications