වසර පහළොවක කාලයක් තිස්සේ එක් රැස් කරන ලද දත්ත ආධාරයෙන් විශ්වයේ කොටසක සිතියමක් තනන්නට අමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත් ව තිබෙනවා. ඔවුන් මෙය නම් කර තිබෙන්නේ The Map of the Observable Universe හෙවත් ‘නිරීක්ෂණය කළ හැකි විශ්වයේ සිතියම’ ලෙසයි. පසුගිය නොවැම්බර් 17 වැනි දා මාධ්‍යයට නිදහස් වූ මෙය විශ්වය පුරා විසිරී ඇති මන්දාකිණි සහ ක්වේසර දෙලක්ෂයකට වැඩි ප්‍රමාණයකින් නිකුත් වන යථා වර්ණාවලීක්ෂ ආලෝකයන්ගෙන් සටහන් වී තිබෙනවා.
කෙසේ නමුත් මේ සිතියමෙන් ආවරණය වන්නේ දිගක් පළලක් නො දන්නා විශ්වයේ ඉතා සුළු වපසරියක් පමණයි. එනම් පෘථිවියේ සිට අංශක 90 ක් පළලින් හා අංශක 10 ක සිරස් වපසරියකින් යුතු කොටසක් පමණයි.
නිව් මෙක්සිකෝවේ පිහිටිApache Point නිරීක්ෂණාගාරය මගින් Sloan Digital Sky Survey ව්‍යාපෘතිය යටතේ වසර 15 තිස්සේ එක් රැස් කරගත් දත්ත මේ සඳහා පාදක වී තිබෙනවා. සාමාන්‍යයෙන් මෙසේ රැස් කරගන්නා දත්තයන් වෙත ප්‍රවේශ වීමේ අවසරය හිමි වන්නේ විද්‍යාඥ ප්‍රජාවට පමණයි. නමුත් මේ ව්‍යාපෘතියේ කටයුතු කළ පර්යේෂකයන් එය බොහෝ දෙනාට විවර වන පරිදි සැකසීමට උත්සුක වී තිබුණා.
“ලෝකය පුරා විසිරී සිටින තාරකා භෞතික විද්‍යාඥයන් අතින් මේ දත්තයන් වසර ගණනාවක් තිස්සේ විශ්ලේෂණයට භාජනය වුණේ ඒ හා සබැඳෙන විද්‍යාත්මක අධ්‍යයනයන් හා නව සොයාගැනීම් දහස් ගණනකට මාවත සකසමින්. නමුත් කිසිවෙකුත් මේ තරම් ලස්සන, විද්‍යාත්මක ව නිරවද්‍ය මෙන් ම මහජනයාටත් විවෘත සිතියමක් හදන්න කාලය කැප කළේ නැහැ.” එසේ පවසන්නේ සිතියම නිර්මාණය කළ කණ්ඩායමේ ප්‍රධානී, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ Brice Ménard.
ජේම්ස් වෙබ් වැනි අති නවීන අභ්‍යවකාශ දුරේක්ෂ අද වන විට විස්මය දනවන තරම් අලංකාර ඡායාරූප මහජනයා වෙත සමීප කළත් ඒවා මගින් විශ්වයේ ඇති යථා පරිමාව මෙන් ම සැකැස්ම පිළිබඳ අදහසක් ලබාගන්නට අපහසුයි. මේ ව්‍යාපෘතිය සමග කටයුතු කළ පර්යේෂකයන් පවසන්නේ විශ්වයේ සැබෑ පරිමාව හා එහි විහිදීම ගැන මහජනයා තුළ ඇති දැනුමේ අඩුපාඩු පුරවන්නට මෙවැනි සිතියම් මගින් හැකියාව ලැබෙන බවයි.
Live Science ඇසුරිනි.