Home Science News මෘදු පටක සුරැකුණු ඩයිනෝසෝර ෆොසිලයක් චීනයෙන් හමුවේ

මෘදු පටක සුරැකුණු ඩයිනෝසෝර ෆොසිලයක් චීනයෙන් හමුවේ

by Sathya

අදින් වසර මිලියන 100කට එපිටින් මධ්‍ය ජුරාසික් යුගයේ ජීවත් වූ ඩයිනෝසෝරයෙකුගේ අතිශය විරල ආකාරයෙන් සුරක්ෂිත ව පැවති ෆොසිලයක් සොයාගන්නට චීන පාෂාණිධාතු විශේෂඥයන් සමත් වී තිබෙනවා. ඒ චීනයේ අභ්‍යන්තර මොංගෝලියාවේ (Inner Mongolia) ඇති ඉපැරණි විලක වැතිර තිබිය දී යි. 

Dromaeosaurid හෙවත් බොහෝ විට ‘රැප්ටර්’ යනුවෙන් ද හඳුන්වනු ලබන පිහාටු සහිත තෙරොපොඩ් ඩයිනෝසෝර කුලයට නෑකම් කියන මේ ඩයිනෝසෝරයා හැඳින්වෙන්නේ 𝐷𝑎𝑢𝑟𝑙𝑜𝑛𝑔 𝑤𝑎𝑛𝑔𝑖 යන චීන ඌරුවක් සහිත විද්‍යාත්මක නාමයෙන්. “Daur” යන්නෙන් අභ්‍යන්තර මොංගෝලියානු ජනයාත්, “long” යන්නෙන් මකරා යන අර්ථයත් ජනනය කරන අතර අභ්‍යන්තර මොංගෝලියාවේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ අධ්‍යක්ෂ Wang Junyou හට ගෞරව පිණිස Wangi යන කොටස ද එක් කර තිබෙනවා.

මෙසේ සොයාගත් ෆොසිලය සුවිශේෂ වන්නේ මින් පෙර නො වූ විරූ තරම් සවිස්තරාත්මක ලක්ෂණ එහි සුරැකි ව පැවතීම නිසයි. ඕනෑ ම ෆොසිලයක ලෙහෙසියෙන් හමු නො වන මෘදු පටක පවා මෙහි සඳහන් ව තිබෙනු දැකිය හැකියි. Dromaeosaurids විශේෂයන් අතරින් මෙවැනි මෘදු පටක සහිත ෆොසිලයක් හමු වූ පළමු අවස්ථාව මෙය බවයි පාෂාණිධාතුවේදියෙකු වන Andrea Cau පවසන්නේ.

යම් මෘත ශරීරයක් නියම ආකාරයෙන් ෆොසිලකරණයට ලක් වනවා නම් එය විය යුත්තේ එහි බක්ටීරියාවන් වර්ධනය වී මෘදු පටක වන කාටිලේජ සහ අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් විනාශ කර දැමීමට පෙරයි. මොංගෝලියාවෙන් සොයාගත් මේ නව 𝐷.𝑤𝑎𝑛𝑔𝑖 ෆොසිලයේ හිමිකරුවා මියගිය වහා ම වාගේ විල යට තැන්පත් වී තිබෙනවා. ඒ ඔක්සිජන් මඳකම හේතුවෙන් පටක හායනය කරන ක්ෂුද්‍ර ජීව ක්‍රියාකාරකම්වලට ප්‍රශස්ථ අවස්ථාවක් ලබා නො දෙමින්. කෙසේ නමුත් ෆොසිලයේ බඩවැල් ආදිය තරමක් හොඳින් සුරැකී තිබුණත් ආම්ලිකතාවය හේතුවෙන් ආමාශය දිරාපත් ව ගොස් තිබෙනු දැකිය හැකියි.

මේ නව ෆොසිලයේ සොයාගැනීමත් සමග 𝐷.𝑤𝑎𝑛𝑔𝑖 මෙන් ම ‘රැප්ටර්’ ඩයිනෝසෝරයන්ගේ එදිනෙදා දිවිය ගැන වැඩිමනක් තොරතුරු රැස් කරගන්නට හැකියාව ලැබෙනු ඇතැයි චීන විශේෂඥයන් බලාපොරොත්තු වනවා.

(රැප්ටර් – Raptor යන වදන ව්‍යවහාරය තුළ ජනප්‍රිය වන්නට ගත්තේ Jurassic Park චිත්‍රපටයෙන්. Dromaeosaurids කුලයට ම අයත් 𝑉𝑒𝑙𝑜𝑐𝑖𝑟𝑎𝑝𝑡𝑜𝑟 ඩයිනෝසෝරයන් කෙටියෙන් හැඳින්වීම සඳහා එම යෙදුම චිත්‍රපටය තුළ භාවිතයට ගැනුණා. පසු කාලීනව නො නිල වශයෙන් Dromaeosaurids කුලයේ සියලු ම සතුන් පොදුවේ හැඳින්වීම සඳහා ද raptor යෙදුම භාවිතයට ගැනෙනවා. නමුත් එම භාවිතය විද්‍යාත්මක නාමකරණයෙන් තොර බව මෙහිලා අවධාරණය කළ යුතුයි.)

Live science සහ Scientific Reports ඇසුරිනි.

සත්‍ය හෙට්ටිආරච්චි 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications