1932 දී අත්ලාන්තික් මහුදට ඉහළ අහසේ තනි ව ගුවන් යානයක් පැදවූ මුල් ම කත බවට පත්වෙමින් ලෝක වාර්තාවක් තැබූ ඇමේලියා එයර්හාට් (Amelia Earhart) ගුවන් සැරියට දැක්වූයේ අපමණ සෙනෙහසක්. ඇය ලොව වාණිජමය ගුවන් ගමන් සේවාවන්ගේ ආරම්භක අවධියේ දී එහි ප්‍රගමනය වෙනුවෙන් ද හඬ නැගූ පුරෝගාමී චරිතයක් ලෙස හඳුනාගත හැකියි. නමුත් ඇගේ ජීවන පියාසැරිය 1937 ජූලි 02 දා අනපේක්ෂිත ලෙස අවසන් වුණා. තම ලොව වටා පියාසර කිරීමේ සිහිනයේ පළමු වැනි අදියර නිමා කරමින් පැපුවා නිව් ගිනියාවට අයත් හෝලන්ඩ් දූපත් වෙත ගොඩබෑමේ අටියෙන් ඈ සිය සහය නියමුවා ද සමඟ පියාසර කරමින් සිටි ගුවන් යානය පැසිෆික් සාගරයට ඉහළින් අතුරුදන් වන්නේ ලොව සලිත කළ අබිරහසකට මුල පුරමින්. ඔවුන්ගේ සිරුරු හෝ ගුවන් යානයේ යැයි තහවුරු කළ හැකි සුන්බුන් සොයාගන්නට කිසිවෙකු සමත් වූයේ නැහැ. අමෙරිකානු ඉතිහාසය තුළ සිදු වූ වියදම් අධික ම සෙවුම් මෙහෙයුම දියෙන් සහ ගුවනින් සිදු කෙරුණත් ඉන් පලක් වූයේ නැහැ.
මේ අතුරුදන් වීමත් සමඟ ඒ හා සබැඳි උපකල්පන මෙන් ම කුමන්ත්‍රණ මතවාදයන් පවා බිහිවන්නට පටන්ගත්තා. 1991 දී එයර්හාට්ගේ ගුවන් යානයේ බවට සැක කෙරෙන ඇලුමිනියම් සුන්බුන් කොටසක් බටහිර පැසිෆික් සාගරයේ පිහිටි නිකුමාරෝරෝ දූපතේ වෙරළ තීරයෙන් හමුවීමත් සමග ඇය ඒ දක්වා පැමිණ ඒ ආසන්නයේ දී අනතුරට ලක් වන්නට ඇතැයි අදහස් මතු වුණා. නමුත් එය ඇය පැදවූ ගුවන්යානයේ ම කොටසක් බව සාධක සහිත ව ඔප්පු කළ හැකි වූයේ නැහැ.
නමුත් එක්සත් ජනපදයේ Penn State’s Radiation Science and Engineering Centre (RSEC) විසින් කරන ලද අධ්‍යයනයකින් එය ඇගේ ම යානයේ කොටසක් බවට වඩ වඩාත් පැහැදිලි කළ හැකි ආකාරයේ සොයාගැනීමක් කර තිබෙනවා. ඔවුන් මේ අධ්‍යයනය කර තිබෙන්නේ 1991 වසරේ දී සොයාගත් පෙර කී සුන්බුන් ඇලුමිනියම් කැබැල්ල ම යොදාගෙනයි
මේ සඳහා යොදාගෙන තිබෙන්නේ neutron radiography නමැති පරිලෝකන ක්‍රමවේදයයි. පරිලෝකනය විය යුතු වස්තුව මතට විකිරණශීලී නියුට්‍රෝන ධාරාවක් එල්ල කෙරන අතර ඒ නියුට්‍රෝන වස්තුවේ ඇති විවිධ අංශු මත විවිධත්වයක් සහිත ප්‍රතික්‍රියා සිදු කරනවා. ඉන් ලබාගන්නා දත්තයන් මගින් පියවි ඇසට නො පෙනෙන තොරතුරු පවා දිස් වන ඡායාරූපයක් ප්‍රතිදානය කරගත හැකියි.
මෙසේ පරිලෝකනයට ලක් කළ සුන්බුන් කොටසින් අදාළ ගුවන් යානයේ නිර්මාණකරුවන් විසින් ම තබන ලදැයි සැක කළ හැකි සලකුණු කිහිපයක් මතු කරගන්නට RSEC පර්යේෂණ කණ්ඩායම සමත් වී තිබෙනවා. එම සලකුණු මගින් D24 යනුවෙන් සහ 335 හෝ 385 ලෙස සඳහන් ව තිබෙනවා. මේ සොයා ගත් සුන්බුන් කැබැල්ල එයර්හාට්ගේ ගුවන් යානයේ කරන ලද අලුත්වැඩියාවකින් අනතුරුව සවි කරන ලද කොටසක් වීමට වැඩි සම්භාවිතාවක් පවතින බව ඔවුන්ගේ අදහසයි.
මේ සොයා ගැනීම සිදු කරන්නට පෙර Penn State’s Radiation Science and Engineering Centre හි ඉංජිනේරු ව්‍යාපෘති කලමනාකරු විසින් මෙම සුන්බුන් කොටස 1991 දී මුලින් ම සොයාගත් Richard Gillespie සම්බන්ධ කරගෙන තිබෙනවා. අදාළ සුන්බුන් කැබැල්ල පර්යේෂණය සඳහා යොදාගන්නට මඟ පෑදුණේ එලෙසයි. Richard මේ වන විට The International Group for Historic Aircraft Recovery (TIGHAR) නමැති සංවිධානයක් ද පිහිටුවාගෙන තිබෙන්නේ ගුවන් ගමන් අතරතුර දී සිදුවන අබිරහස් දෑ ගැන පරීක්ෂණ පවත්වා විද්‍යාත්මක විසඳුම් ලබා දීමේ අරමුණ පෙරදැරිවයි.
මෙසේ සොයාගත් සලකුණු මගින් එය එයර්හාට්ගේ ගුවන් යානයේ ම සුන්බුන් කොටසක් ද යන වග තව ම තහවුරු වී නැතත්, එසේ තහවුරු කරගන්නට අතිශයෙන් උපකාරී වන සාධකයක් වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වනවා.
Metro UK, The Guardian, New York Post සහ Penn State ඇසුරිනි.
සත්‍ය හෙට්ටිආරච්චි