Home Science News පිරිමි බවේ වර්ණදේහය අතුරුදන් වන ලකුණු

පිරිමි බවේ වර්ණදේහය අතුරුදන් වන ලකුණු

by Sathya

මෙලොව උපදින මිනිසුන් හා ක්ෂීරපායී සතුන්ගේ ලිංග නිර්ණය සිදුවන්නේ දේහ සෛලයක ඇති වර්ණදේහ යුගල් අතරින් අවසන් වර්ණදේහ යුගලය වන 23වැනි (ලිංග) වර්ණදේහ යුගලය මගිනුයි. ඒ අනුව ගැහැනු බවට⁣ හේතුවන ලිංග වර්ණදේහ යුගල දිගින් සමාන X වර්ණදේහ දෙකක් නිසා ඒවා XX ලෙස හැඳින්වෙනවා. එහෙත් පිරිමි බවට හේතු වන ලිංග වර්ණදේහ දෙකෙන් එකක් X වර්ණදේහයක් වුව ද අනෙක එයට වඩා කෙටි වන නිසා එය Y වර්ණදේහය නමින් හැඳින්වෙනවා. ඒ අනුව පිරිමි බවට හේතු වන ලිංග වර්ණදේහ යුගල XY ලෙස හැඳින්වෙනවා.

එහෙත් මිනිසුන්ගේ මේ Y – ලිංග වර්ණදේහය ක්‍රමයෙන් හායනය වෙමින් පවතින බවත්, එනිසාම අනාගතයේදී මේ වර්ණදේහය අතුරුදහන් වනු ඇති බවත් නවතම අනාවරණයකින් දැක්වෙනවා.

එනිසාම එම ලිංග වර්ණදේහයේ තිබෙන ලිංග ජානය වෙනුවට නවතම ලිංග ජානයක් අප තුළ පරිණාමය නොවුණහොත් එය අපේ වඳ වී යාමට හේතු වනු ඇතැයි පෙන්වා දෙනවා.

පිරිමියෙකුට උරුම වන ලිංග වර්ණදේහ දෙකෙන් X – වර්ණදේහයේ ජාන 900ක් පමණ ඇති අතර Y – වර්ණදේහයේ තිබෙන්නේ ජාන 55ක් තරම් අඩු ගණනක්.

X – වර්ණදේහයට වඩා Y – වර්ණදේහය කෙටි වීම මෙයට හේතුවයි.

පිරිමි බව තීරණය කිරීමට Y – වර්ණදේහයේ තිබෙන ප්‍රධාන ලිංග ජානය SRY නම් වන අතර එමගින් පිරිමි බව නිර්ණය කෙරෙන SOX9 නම් ජානය සක්‍රිය කරනු ලබනවා.

ක්ෂීරපායී සත්ව පරිණාමයේ මුල් අවස්ථාවක් වන ප්ලැටිපස් සහ එකිඩ්නා වැනි බිත්තර දමන ක්ෂීරපායී සතුන්ගේ පිරිමි සතුන් තුළ තිබෙන XY වර්ණදේහ යුගල දිගින් සමාන වීම විශේෂත්වයක්.

මින් අදහස් වන්නේ අතීතයේදී මුල් ක්ෂීරපායී සතුන්ගේ පිරිමි සතුන් තුළ මෙම ලිංග වර්ණදේහ යුගල සමාන ප්‍රමාණයට තිබූ බවයි.

මිනිසුන් අයත් වන දියුණු ක්ෂීරපායී සතුන් අතර බිත්තර දමන ක්ෂීරපායී සතුන්ගෙන් වෙන් වී පරිණාමය වීම ඇරඹෙන්නේ අදින් වසර මිලියන 166කට පමණ ඉහත දීයි.

ඒ අනුව එදා වර්ණදේහ 900ක් පමණ තිබූ අතීත Y – වර්ණදේහයේ ජාන සංඛ්‍යාව මිනිස් පරිණාමීය ඉතිහාසය තුළ 55ක් දක්වා අඩු වී තිබෙනවා.

එය වසර මිලියනයක කාලය තුළ ජාන සංඛ්‍යාව 5කින් අතුරුදහන් වීමක්.

මේ අතුරුදහන් වීමේ ශීඝ්‍රතාව අනුව දැනට Y – වර්ණදේහයේ ඉතිරි ව තිබෙන ජාන 55ක සංඛ්‍යාව අතුරුදහන් වී යාමට ගත වනු ඇත්තේ තව වසර මිලියන 11ක කාලයක් පමණයි.

ඒ අනුව ලිංග ජානය ද සමග Y – වර්ණදේහය එතරම් කාලයක දී අතුරුදහන් ව ගිය ද මිනිසා තුළ පිරිමි බවේ ලිංග ජානය නො නැසී පවතිනු ඇතැයි විශ්වාස කිරීමට සාධක ක්ෂීරපායී සත්ත්ව විශේෂ දෙකකින් ලැබී තිබෙනවා. ඒ සුබ පුවත ලැබී තිබෙන්නේ නැගෙනහිර යුරෝපයේ වෙසෙන Mole vole සහ ජපානයේ වෙසෙන Spiny rat නම් සත්ත්ව විශේෂ දෙකෙන්.

ඔවුන්ගේ Y – වර්ණදේහය මුළුමනින් ම අතුරුදහන් ව තිබුණ ද ඔවුන් තුළ ලිංග නිර්ණය සිදුවෙමින් වඳ නොවී පැවතීමේ හැකියාව ලැබී තිබෙනවා.

මේ පිළිබඳ තොරතුරු PNAS ජර්නලයේ පළ කර තිබෙනවා.

Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications