Home Science News වසර මිලියන දෙකක් පැරණි DNA හමු වේ

වසර මිලියන දෙකක් පැරණි DNA හමු වේ

by Sathya

ග්‍රීන්ලන්තයේ අධි ශීතනය වූ පසෙහි ඇති අවසාදිත තැන්පතු තුළින් වසර මිලියන 2ක් පැරණි පාරිසරික DNA සාම්පල සොයාගෙන තිබෙනවා. එතරම් පැරණි DNA සාම්පල හමු වුණු ප්‍රථම අවස්ථාව මෙය වෙනවා. මෙයට පෙර ඉපැරණි ම DNA සාම්පල හමු වී තිබුණේ වසර මිලියන 1.2කට ඉහත විසූ ලෝම මැමත් සතුන් තිදෙනෙකුගේ දත් තුළිනුයි. ඒ පසුගිය 2021 වර්ෂයේ දී යි.

එම වාර්තාව බිඳිමින් සිදු කර ඇති මේ අනාවරණය සුවිශේෂී වන්නේ එපමණකින් ම පමණක් නොවෙයි. පසුගිය දෙසැම්බර් 7 වෙනි දින Nature ජර්නලයේ පළ කර තිබෙන මෙම අනාවරණ වාර්තාවට අනුව එමගින් ග්‍රීන්ලන්තය ද ඇතුළු ආක්ටික් කලාපයේ ඉහළ ම ජෛව විවිධත්වයකින් පැවති පරිසර පද්ධතියක තොරතුරු අනාවරණය කර ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.

මේ ඉපැරණි ප්‍රවේණි ද්‍රව්‍ය හමු වී තිබෙන්නෙ, උතුරු ග්‍රීන්ලන්තයේ Kap Kobenhavn භූ විද්‍යා තැන්පතු ප්‍රදේශයේ අවසාදිත තට්ටුවක අඩි 328ක් (මීටර් 100) ගැඹුරින් 2006 වසරේ සිට ලබාගෙන ඇති DNA සාම්පල 41ක් පරීක්ෂා කිරීමේදීයි. ඒ අනුව කුහුඹුවන්, මැක්කන් වැනි කෘමීන්, හරිත ඇල්ගී, කොරල් සහ අශ්ව ලාඩම් කකුළුවන්, පාත්තයන් ඇතුළු පක්ෂීන් මෙන් ම මීයන් වැනි කෘන්තකයන්, හාවුන්, ලෙමින්ගුවන්, පිනිමුවන් පමණක් නොව පුදුමයකට මෙන් වත්මන් අලි ඇතුන්ගේ පූර්වජයෙකු වන වඳ වී ගිය මැස්ටොඩන් නම් දල සහිත ක්ෂීරපායී සතුන් ද විසූ සුවිසල් පරිසර පද්ධතියක තොරතුරු හෙළි කර ගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා.

මෙහි පොප්ලර්, බර්ච් වැනි ශාක ද තිබූ බව DNA තුළින් අනාවරණය වෙනවා. මෙහි දී පරීක්ෂා කළ DNA සාම්පල මිලි මීටරයකින් මිලියනයෙන් පංගු කීපයක් එනම් නැනෝ මීටර් කීපයක් තරම් ඉතා කෙටි වූ අතර ඒවා අධ්‍යයනයට අපහසු වන තරම් හායනයට ලක් වී තිබුණ ද විද්‍යාඥයින් ඉතා වෑයමෙන් ඒවායේ ප්‍රවේණි තොරතුරු පෙළගැස්වීමට සමත් වී තිබෙනවා.

“ඉතා ඈත කාලයක පැවති පරිසර පද්ධතියක DNA දෙස පළමු වරට කෙළින් ම  බැලීමෙන් ඉතිහාසයට වසර මිලියනයක අමතර කාලයක් සහිත නව පරිච්ඡේදයක් එකතු කිරීමට අපට හැකි වී තිබෙනවා.”

Nature ජර්නලයේ වාර්තාවේ ප්‍රධාන කතුවර, එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් සරසවියේ පරිණාමීය පරිසර විද්‍යාඥ Eske Willerslev එසේ පවසනවා.

මේ වාර්තාවේ සම කතුවරයෙකු වන ඩෙන්මාර්කයේ කෝපන්හේගන් සරසවියේ පාෂාණිධාතු විද්‍යාඥයෙකු හා ප්‍රවේණි විද්‍යාඥයෙකු වන Kurt Kjaer සඳහන් කරන පරිදි අවසාදිත සාම්පලවල තිබෙන අතිශයින් කුඩා හා හානියට ලක්වුණු DNA කොටස් හඳුනා ගැනීමට DNA නිස්සාරණ හා පෙළගැස්වීමේ අති නවීන උපකරණ තුළින් හැකි වී තිබෙනවා.

පරීක්ෂා කළ වසර මිලියන 2ක් පැරණි DNA මගින් එවක විසූ බැක්ටීරියා සහ දිලීර විශේෂ කිහිපයක් ද අනාවරණය කරගෙන තිබෙනවා.

පර්යේෂකයින් විසින් කැනීම් සිදුකළ අවසාදිත ස්ථරය වසර මිලියන 2කට පෙර වසර 20,000ක කාලයක් පුරා පැවතුණු එකක් වන අතර එම කාලය ඇතුළත ඒ ප්‍රදේශයේ උෂ්ණත්වය පැවතී තිබෙන්නේ සෙල්සියස් අංශක 10 සිට 17 අතර එනම් ෆැරන්හයිට් අංශක 18 සිට 31 අතරයි. එය වර්තමාන ග්‍රීන්ලන්තයේ උෂ්ණත්වයට වඩා වැඩි වීම විශේෂයක්. මෙයින් පැහැදිලි වන්නේ දේශගුණික වෙනස්වීම් හේතුවෙන් සම්පූර්ණ පරිසර පද්ධතියන්ගේ ම නැගීම් හා වැටීම් ඇති විය හැකි බවයි.

Science Alert , Live Science, Nature ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications