පසුගිය දෙසැම්බර් 07 වැනි දා පෘථිවියේ සැබෑ ස්වරූපය දැක්වෙන ඉහත ඡායාරූපය කැමරා කාචයට හසු කරගෙන වසර පණහක් සැපිරුණා. අදින් අඩසියවසකට පෙර 1972 දී මෙය කැමරා කාචයට හසු කරගන්නා තුරු පෘථිවිය පරිපූර්ණ වශයෙන් හසුකරගත් ඡායාරූපයක් මෙලොව එකදු මිනිසෙකු හෝ දැක තිබුණේ නැහැ. ඒ නිසා ම එය මිනිසා පෘථිවිය දෙස බලන අන්දම සහමුලින් ම වෙනස් කරන්නට සමත් වුණා. එහි ඇති අද්විතීය බව නිසා ම The Blue Marble හෙවත් නීල කිරිගරුඬ බෝලය යන නම පටබැඳී තිබෙනවා.
මිනිසා අවසන් වරට සඳ මතුපිට ඇවිද ගිය ඇපොලෝ 17 මෙහෙයුම රැගත් කැප්සියුලය කෙමෙන් පෘථිවියෙන් ඈත් වී සඳ බලා යන ගමන අරඹන අතර වාරයේ පෘථිවියේ සිට කිලෝමීටර 29,000ක දුරක් පසු කරමින් සිටිය දී ගගනගාමී යුජීන් කර්නන් (Eugene “Gene” Cernan), රොනල්ඩ් එවන්ස් (Ronald Evans) සහ හැරිසව් ශ්මිට් (Harrison Schmitt) එක් වී මේ ඓතිහාසික ජායාරූපය ලබාගත්තේ Zeiss කාචයක් සවි කළ හැසල්බ්ලැඩ් (Hasselblad) සමාගමේ කැමරාවකින්. මිනිසෙකුගේ මෙහෙයවන ලද ඇනලොග් කැමරාවක් ආධාරයෙන් හසුකරගනු ලදුව මෙහෙයුම අවසන් වූ පසු කළුවර කාමරයක් තුළ පිටපත් කරගත් අවසාන පරිපූර්ණ පෘථිවි ඡායාරූපය ද වන්නේ එයයි.
Blue Marble වැනි ස්වරූපයේ ඡායාරූපයක් ලබා ගැනීමට සුදුසු පාරිසරික තත්ත්වයක් පැවතීම අතිශය විරලයි. සේයාරුවෙහි දැක්වෙන පරිදි හරි මැදට වන්නට පූර්ණ පෘථිවිය අභ්‍යවකාශයේ පාවෙමින් තිබෙන බව ඉස්මතු වන ලෙස පෙනීමට නම් හිරු හරියට ම ඡායාරූප ශිල්පියාට පිටුපසින් පිහිටා තිබිය යුතු යි. අධික වේගයකින් කක්ෂගත ව පියාසර කරන මොහොතක, ශුන්‍ය ගුරුත්වය යටතේ, මෙවන් සිත නිවෙන සුන්දරත්වයකින් යුතු ඡායාරූපයක් කැමරා කාචයට හසුකර ගැනීම අතිශය අපහසු යමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
භූ දේශපාලනික බැමිවලින් බෙදී අභ්‍යවකාශ තරගයේ තරගකරුවන් වී සිටි ලෝකයාට වැට කඩුලු නැති විවෘත, සමබර ලෝකයක් පෙන්වා දුන් Blue Marble ඉතා ඉක්මනින් ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වූයේ එකමුතුකමේත්, සමගියේත් සංකේතය බවට පත් වෙමින්.
The Conversation හා CNN ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි