Home Science News ඔරායන් සාර්ථකව පෘථිවියට ළඟා වෙයි

ඔරායන් සාර්ථකව පෘථිවියට ළඟා වෙයි

by Sathya

ආටමිස් 1 මෙහෙයුම මගින් චන්ද්‍රයා වටා ක්ෂගත වූ ඔරායන් (Orion) කැප්සියුලය පසුගිය 11 වන දා සාර්ථක ලෙස යළි පෘථිවියට පැමිණියා. ඒ මෙක්සිකෝවට යාබද පැසිෆික් සාගරට පහත් වෙමින්. 2025 වන විට යළිත් චන්ද්‍රයා මත මනිසුන් ඇවිද යනු දැකීම අරමුණු කරගෙන නිපැයුණු ඔරායන් කැප්සියුලය පරික්ෂා කර බැලීමයි ආටමිස් 1 මෙහෙයුමේ මූලික අභිප්‍රාය වී තිබුණේ.

ඔරායන් රැගත් ආටමිස් 1 මෙහෙයුම අජටාකාශ ගත කළ අධිබලැති SLS රොකට්ටුව ඉකුත් නොවැම්බර් මස 16 දා කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගුවනට ඇදුණේ මාස කිහිපයක් තිස්සේ ඇදුණු අවලංගු කිරීම් කිහිපයකින් පසුවයි.  

මෙහෙයුම ඇරඹී දසවන දිනයේ දී සඳ පසුකර ගොස් චන්ද්‍ර පෘෂ්ඨයට කිලෝමීටර 65,000 ක සීමාවට පිවිසි එය මෙහෙයුමට අනුයුක්ත විද්‍යාඥ කණ්ඩායමට ගැඹුරු අභ්‍යවකාශයේ දී සිය හැසිරීම අධ්‍යයනය කරන්නට අවස්ථාව සලසා දුන්නා. අනතුරුව දහතුන් වන දිනයේ දී පෘථිවිය් සිට කිලෝමීටර 432,210 ක දුරකට ඇදී ගොස් පෘථිවියත්, චන්ද්‍රයාත් එක ම සෙල්ෆි ඡායාරූපයක සටහන් කරගන්නට සමත් වුණා. එසේ ම එය මිනිසුන් රැගෙන යා හැකි පරිදි තැනුණු කැප්සියුලයක් වශයෙන් පෘථිවියේ සිට වැඩිම දුර සීමාවකට ළඟා වූයේ වාර්තා පොත් අලුත් කරමින්. මින් පෙර ඒ වාර්තාවට හිමිකම් කීවේ ඇපොලෝ 13 මෙහෙයුමයි.

දින ගණනාවක පුරෝගාමී අභ්‍යවකාශ සැරියකින් අනතුරුව මෙහෙයුමේ 26 වැනි දිනයේ එය පෘථිවි වායුගෝලය හරහා එන විනාඩි 20 ක ත්‍රාසජනක ගමන ඇරඹුවා. ඒ පැයට කිලෝමීටර 40,000ක වේගයකින්. මීටර 5 ක විශ්කම්භයකින් යුතු තාප ආරක්ෂණ පලිහ (heat shield) මගින් වායුගෝලය මගින් එල්ල වන තාපය මුසු ඝර්ෂණය දරාගනු ලැබුණා. පහළ බැසීමේ ගමනේ අවසන් විනාඩි හතර තුළ දී දියත් වූ පැරෂුට 11කින් එහි වේගය මන්දනය වූ අතර කැප්සියුලය මෙක්සිකෝවේ බාජා අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටන Guadalupe දූපත ආසන්නයේ දී මුහුද සිපගත්තා. මෙහෙයුමට අනුයුක්ත විද්‍යාඥයන් විසින් සිදු වූ මූලික පිරික්සුම්වලින් අනතුරුව එය USS Portland නෞකාව මගින් ගොඩගනු ලැබුණා.

මීළඟ ආටමිස් මෙහෙයුම (Artemis 2) 2024 වසරේ දී දියත් කිරීමටයි කටයුතු සූදානම් වෙමින් පවතින්නේ. ඉදිරි අටමිස් මෙහෙයුම් සාර්ථක කරගැනීම සඳහා ඔරායන් කැප්සියුලය මගින් මෙසේ ලබාගත් පෙරහුරුව අතිශය වැදගත් වනු ඇති.

සත්‍ය හෙට්ටිආරච්චි 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications