පසුගිය දෙසැම්බර් 13 වැනි දින Nature Communications ජර්නලයේ පළ වූ වාර්තාවකින් අඟහරු ග්‍රහලොවේ හමාගිය “දූවිලි රකුසන් ” (Dust devils) වර්ගයට අයත් දූවිලි කුණාටුවක ප්‍රථම වරට සටහන් ව ඇති ශබ්දය පිළිබඳ විශ්ලේෂණයක් දැක්වෙනවා.
“දූවිලි රකුසන්” ලෙස හඳුන්වන දූවිලි කුණාටු වර්ගය අඟහරු ලොව මත ඇති වන්නේ එහි පොළොවට ආසන්න වාතය උණුසුම් වී දූවිලි ද සමග භ්‍රමණය වෙමින් ඉහළ නැගීම නිසයි.
මේවා අපේ පෘථිවි ග්‍රහලොවේ ටොනේඩෝ මෙන් කරකැවෙමින් අඟහරු පෘෂ්ඨය මතින් ගමන් කරනවා.
ඉහත වාර්තාවේ දැක්වෙන දූවිලි රකුසා පසුගිය 2021 වසරේ සැප්තැම්බර් මස 27 වැනි දින අඟහරු ලොව මත ඇති පර්සවරන්ස් රෝවරය මතින් හමාගිය අතර මීටර් 119ක් උසැති එහි විෂ්කම්භය මීටර් 25ක් වුණා.
පර්සිවරන්ස් රෝවරය මෙන් දස ගුණයක් පළලැති දූවිලි රකුසා තට්ටු 40ක ගොඩනැගිල්ලක් තරම් උසැති වූ අතර පැයට කිලෝ මීටර් 19ක වේගයෙන් ගමන් කළ එහි මුදුනේ සුළං වේගය පැයට කිලෝ මීටර් 40ක් පමණ වී තිබෙනවා.
පර්සවරන්ස් රෝවරය මගින් ගවේෂණය කරනු ලබන අඟහරු මත ජැසිරෝ ආවාටය මෙවැනි දූවිලි රකුසන් ඇතිවන ප්‍රධාන තෝතැන්නක් වෙනවා.
උෂ්ණත්වය, දූවිලි, ආර්ද්‍රතාව හා සුළඟ පිළිබඳව වාර්තා කිරීමට රෝවරයේ ඇති Mars Environmental Dynamics Analyser (MEDA) නම් අඟහරු පරිසර ගතික විශ්ලේෂකය මගින් රෝවරයට ආසන්නව ගමන් කළ මෙවැනි දූවිලි රකුසන් 91 ක් පමණ මේ වන විට වාර්තා කර තිබෙනවා.
MEDA විශ්ලේෂකයේ උපකරණවලට අමතරව දූවිලි රකුසාගේ ගැටුම වාර්තා කිරීමේ දී පර්සවරන්ස් රෝවරයට අයත් Navigation කැමරා මෙන් ම ශබ්දය වාර්තා කළ SuperCam මයික්‍රොෆෝනය ද ආධාර වී තිබුණා.
“අපට රෝවරය මත වැදෙන දූවිලි අංශුවල හඬ හරියට ම අහගන්නට පුළුවන් වුණා.”
මෙම විශ්ලේෂණ වාර්තාවේ ප්‍රධාන කතුවර ප්‍රංශයේ Toulouse සරසවියට අයත් ගුවන් හා අභ්‍යවකාශ කටයුතු පිළිබඳ ජාතික උසස් ප්‍රංශ ආයතනයේ භෞතික විද්‍යාඥ නයෝමි මර්ඩොක් Live Science වෙබ් අඩවියට පැවසුවා.
ඇය සඳහන් කළේ මෙම ගැටුම්වල ශබ්දය ආධාරයෙන් සුළියේ ඇති දූවිලි ප්‍රමාණය ගණනය කළ හැකි බවයි. මෙවැනි මිනුමක් අඟහරු ලොව මතුපිට සිදු කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වනවා.
“කොහොම වුණත් අඟහරු වායුගෝලය පොළොවේ වායුගෝලයට වඩා බොහෝ තුනී එකක්. ඒ අනුව සුළං වේගය වැඩි වුණත් අඟහරු වායුගෝලයේ දූවිලි අංශු ගණන අඩු නිසා සුළඟින් ඇති කෙරෙන බලය පොළොවට වඩා බොහෝ අඩුයි.” නයෝමි මර්ඩොක් එසේ පවසනවා.
ඇය සඳහන් කරන්නේ අඟහරු මතුපිටින් දූවිලි එසවෙන අන්දම තව ම අප හරියාකාර ව නොදන්නා බව සහ දූවිලි රකුසන් සහ දූවිලි කුණාටු පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මෙය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.
Live Science සහ Nature Communicatios ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි