පසුගිය වසරේ කැනඩාව ඉහළ වායුගෝලයේ දී පුපුරා ගිය ‘Fireball’ වර්ගයට අයත් උල්කාපාතයක් පිළිබඳ කළ පසු විපරම් අධ්‍යයනයකින් විද්‍යාඥ සිත් තුළ කුහුල වඩවන යමක් සොයාගන්නට හැකි වී තිබෙනවා. ඒ අධ්‍යයනය මෙහෙයවනු ලැබ තිබුණේ කැනඩාවේ Western Ontario විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් විසින්.
බොහෝ උල්කා ඝට්ටනයන්ට හේතු වන්නේ විශාල ග්‍රහකයකින් හෝ ධූමකේතුවකින් ගැලැවෙන කොටසක් පෘථිවියේ ගුරුත්වයට හසු වීමයි. නමුත් ඉකුත් වසරේ පෙබරවාරි 22 දා කැනඩාවට දර්ශනය වූ ‘Fireball’ වර්ගයේ උල්කාවේ සම්භවය ඊට වඩා වෙනස් බවයි පර්යේෂකයන් පවසන්නේ. ඔවුන් සඳහන් කරන්නේ එය කෙළින් ම ඌට් වලාවේ (Oort Cloud) සිට පැමිණි බවයි. ඔවුන් මේ බව සොයාගත්තේ උල්කාව පැමිණි ගමන් මඟ යළි නිරීක්ෂණයට බඳුන් කිරීමෙන්.
සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 2000ත් – 100,000ත් අතර දුරකින් පිහිටන ඌට් වලාවේ සිට අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලය වෙත උල්කා පැමිණීම අසාමාන්‍ය දෙයක් නොවුණත්, මේ නිරීක්ෂණය සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ අප මෙතෙක් කල් නො දැන සිටි යමක් ද හෙළි පෙහෙළි කර දෙනවා. ප්ලූටෝටත් ඔබ්බෙන් පිහිටා ඇති ඌට් වලාව තැනී ඇත්තේ මිදුණු ඇමෝනියා, මීතේන් සහ ජල අණුවලින් බවයි මෙතෙක් කල් අප සිතා සිටියේ. නමුත් මෙසේ කඩා වැටුණු උල්කාශ්මය පාෂාණමයයි. එනිසා මෙය නවමු ආකාරයකින් ඌට් වලාව දෙස බලන්නට අප පොළඹවනවා.
“මේ සොයාගැනීම සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය පිළිබඳ වෙනස් ම ආරයේ ආකෘතියකට සහාය දක්වනවා. එය ඌට් වලාව තුළ ඇති අයිස් සහිත වස්තූන් සමග සැලකිය යුතු තරමින් පාෂාණමය කොටස් ද විසිරී ඇතැයි යන අදහසට පිටුබලය දෙනවා. මේ සිදුවීම දැනට සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වීම පිළිබඳ ව ඇති ආකෘති සියල්ලට ම පටහැනියි. මෙය සෙල්ලමේ දිශානතිය සම්පූර්ණයෙන් ම වෙනස් කරනවා.” එසේ පවසන්නේ Western Ontario හි භෞතික විද්‍යාඥ Denis Vida.
2021 වසරේ පෙබරවාරි 22 දා කැනඩාවේ එඩ්මන්ටන් නගරයට කිලෝමීටර 100ක් උතුරු දෙසට වන්නට ඇදී ගිය මේ උල්කාපාතය චන්ද්‍රිකා, Global Fireball Observatory කැමරා පද්ධති දෙකක් ද ඇතුළු උපාංග කිහිපයකින් ම සටහන් කරගනු ලැබුණා. ඒ ඇසුරෙන් තත්ත්පර 2.4 ක කාල පරාසයක් තුළ එය ඇදී ආ ගමන් මඟ කිලෝමීටර 148.5 ක දුරක් දක්වා ආපසු ගණනය කරනු ලැබුණේ පර්යේෂකයන්ට එහි ගමන් පථය පිළිබඳ නිශ්චිත අදහසක් ලබාගැනීමට අවකාශය සලසා දෙමින්.
ඔස්ට්‍රේලියාවේ Curtin විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ Hadrien Devillepoix පවසන්නේ 70 වසරක ‘Fireball’ නිරීක්ෂණ වැඩපිළිවෙළ තුළ වාර්තා වූ අසාමාන්‍යත ම සිදු වීම මෙය බවයි. එය මෙවැනි උල්කා දර්ශනය වීම් අධ්‍යයනය සඳහා පිහිටුවා ගත් Global Fireball Observatory වැඩසටහනේ වැදගත්කම මනා ව පිළිඹිබු වන සිදු වීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Science Alert ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි