රතු ග්‍රහයා ගවේෂණයට ගිය පර්සිවියරන්ස් රෝවරය (Perseverance rover) මේ වනවිට, යළි පෘථිවියට යැවීම සඳහා රැස් කරගත් පාෂාණ සාම්පල ස්ථානගත කරමින් සැකසෙන මුල් ම ‘ඩිපෝව’ ඇතිකිරීමට සැරසෙමින් සිටිනවා. අඟහරු ලොවෙන් රැගෙන ඒමට නියමිත මුල් ම පාෂාණ සාම්පල තොගය වශයෙන් මේ ‘රැඳවුම් ස්ථානය’ (cache site) තුළ බහා ඇති සාම්පල 2033 වන විට පෘථිවියට රැගෙන ඒමට නියමිතයි. එනිසා මෙය mars 2020 මෙහෙයුම් පෙළෙහි සුවිශේෂ සංධිස්ථානයක් ද වනවා.
මේ රැඳවුම් ස්ථානය තැනීම සඳහා තෝරාගෙන තිබෙන්නේ ජෙසෙරෝ ආවාටයේ (Jezero Crater) ඇති Three Forks යනුවෙන් අන්වර්ථ නමක් පටබැඳී ඇති ප්රදේශයයි. එය ගල් කුළු දක්නට නොමැති සුමට වැලි තලයක් ඇති ප්‍රදේශයක්. එය මේ සාම්පල ලබා ගන්නට පැමිණෙන ඉදිරි මෙහෙයුම් සඳහා පහසුවක් වනවා.
පර්සිවියරන්ස් රෝවරය 2020 වසරේ දී අඟහරු මත ගොඩ බැසගත් දා පටන් විවිධ අවස්ථාවල දී පාෂාණ තුළට විද සිලින්ඩරාකාර හැඩයකික් යුතු පාෂාණ නියැදි රැසකරගනු ලැබුණා. මෙසේ රැස්කරගත් නලාකාර පාෂාණ කොටස් ඉදිරි දින 30 ක කාලය ඇතුළත පර්සිවියරන්ස් රෝවරය මගින් මෙම රැඳවුම් ස්ථානය මත පතිත කිරීමට නියමිතයි. කෙසේ නමුත් මෙසේ බිමට පතිත කෙරෙන්නේ ලබාගත් පාෂාණ නියැදි දහයක් පමණයි. අනෙක්වා අමතර තැන්පතුවක් ලෙස රෝවරය තුළ ම තබා ගැනෙනවා.
ඉදිරියේ දී NASA ආයතනය සහ යුරෝපියානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) එක් ව ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින ‘ අඟහරු නියැදි ගෙන එන මෙහයුම’ (Mars Sample Return Program) මගින් මෙසේ බිම පතිත කරන ලද සාම්පල එක් රැස් කර ගැනීමට නියමිතයි.
“රෝවරය මගින් එක් රැස් කරන ලද සාම්පල මෙම මෙහෙයුම තුළ ගවේෂණය කරන ලද ප්‍රදේශ නියෝජනය කරන අද්විතීය පාෂාණ එකතුවක්” එසේ පවසන්නේ Mars Sample Return Program හි ප්‍රධාන විද්‍යාඥවරිය වන මීනක්ෂි වධ්වා.
2030 දී අඟහරු මත වැඩ අරඹන්නට නියමිත ‘සාම්පල භාරගන්නා ලෑන්ඩරය’ (Sample Retrieval Lander) සතු ව සාම්පල රැස් කළ හැකි තරමේ කුඩා හෙලිකොප්ටර් යානා දෙකක් ද අන්තර්ගත වනු ඇති. පාෂාණ සාම්පල ලෑන්ඩරය වෙත රැගෙන එන්නේ මේ හෙලිකොප්ටර් විසින්. හෙලිකොප්ටරයකට එක්වර ගෙන යා හැක්කේ එක් සාම්පලයක් පමණක් නිසා පර්සිවියරන්ස් ඒවා පතිත කිරීමට නියමිත ව ඇත්තේ එකක් මත එකක් සිටින පරිදි ගොඩ ගසමින් නොවෙයි. එය සිදු කෙරෙන්නේ සිග් සැග් ක්‍රමයට සාම්පලයෙන් සාම්පලයට යම් නිශ්චිත දුර ප්‍රමාණයක් පවතින අයුරින්. එය රැගෙන යාමට පැමිණෙන හෙලිකොප්ටර් යානාවලට පහසුවක් වනවා.
ලෑන්ඩරය සතු ව ඇති Mars Ascent Vehicle නම් රොකට්ටුව මගින් මෙසේ ගෙනෙන ලද සාම්පල රතු ග්‍රහයාගෙන් එපිටට ගෙන එනවා. මෙම සාම්පල නැවත පෘථිවියට රැගෙන එන යානය හැඳින්වෙන්නේ Earth Return Orbiter ලෙසයි. එය අඟහරුවටා කක්ෂගත ව හිඳ අභ්‍යවකාශයේ දී Mars Ascent Vehicle සමඟ හා වී සාම්පල තමා භාරයට ගනු ලබනවා. එය අඟහරුගෙන් පිටත් වීම සිදු වනු ඇත්තේ 2031 දී වන අතර පෘථිවිය මතට ළඟා වනු ඇත්තේ වර්ෂ 2033 දී යි. මෙම පාෂාණ සාම්පල පෘථිවියේ පර්යේෂණාගාර තුළ විශ්ලේෂණයට ලක් කිරීමෙන් අඟහරු පිළිබඳ අප නො දන්නා බොහෝ තොරතුරු හෙළිදරව් කර ගත හැකි වනු ඇති.
CNN ඇසුරිනි.
සත්‍ය හෙට්ටිආරච්චි