මේ වන විට ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරය අඟහරු වායුගෝලයේ පියාසර වාර දුසිම් තුනක් සිදුකර හමාරයි.
කිලෝ ග්‍රෑම් 1.8ක් වන ඉන්ජෙනුයිටි අඟහරු හෙලිකොප්ටරය පසුගිය දෙසැම්බර් 10 වැනි දින සිය 36 වෙනි පියාසැරිය තත්පර 60.5ක කාලයක් තුළ මීටර් 110ක එනම් අඩි361ක තිරස් දුර ප්‍රමාණයක් සිදුකර ඇති බව NASA ආයතනයේ ඒ පිළිබඳ පියාසර වාර්තා සටහනේ දැක්වෙනවා.
මේ පියාසැරියේදී ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරය රතු ග්‍රහ ලොවේ මතුපිටයට මීටර් 10ක් එනම් අඩි 13ක් ඉහළින් ගමන් කිරීමට සමත් වුණා.
එහෙත් මෙවර පියාසැරියට සතියකට ඉහත පසුගිය දෙසැම්බර් 3 වැනි දින සිදුකළ 35 වෙනි පියාසැරියේදී එය අඟහරු මතුපිට ජැසිරෝ ආවාටයට මීටර් 14ක එනම් අඩි 46ක වාර්තාගත උසක් ඉහළින් ගමන් කර තිබුණා.
පසුගිය 2021 වසරේ පෙබරවාරි මස 18 වෙනි දින අඟහරු ලොවේ ජැසිරෝ ආවාටය මත පර්සිවරන්ස් රෝවරය සමග ගොඩ බැස්වූ ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයේ පියාසර වාර්තාවට අනුව මේ වන විට සිදු කර තිබෙන පියාසැරි 36න් එය මීටර් 7,517ක එනම් අඩි 24,633ක දුරක් අඟහරු අහසේ ගමන් කර තිබෙනවා.
එම පියාසැරි වලදී එය මිනිත්තු 61ක කාලයක් අඟහරු ලොවේ රක්ත වර්ණ මතුපිට පෘෂ්ටයට ඉහළ අහසේ සැරිසරා තිබෙනවා.
පර්සිවරන්ස් රෝවරය මේ වන විට අඟහරු ලොවේ ජැසිරෝ ආවාටය මත ගමන් කර තිබෙන දුර කිලෝ මීටර් 13.73ක් වෙනවා.
පෘථිවියෙන් බැහැර වෙනත් ග්‍රහලොවක සිට තම බල ශක්තියෙන් එහි අහසේ පියාසැරීම සිදුකළ පළමු අහස් යන්ත්‍රය ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයයි.
එය සැලසුම් කර ඇත්තේ එක් පියාසර වාරයකදී ග්‍රහලොවේ පෘෂ්ටයට අඩි 10 සිට 15 දක්වා උසකින් මීටර් 300ක එනම් අඩි 980ක දුරක් තත්පර 90ක කාලයක් දක්වා ගමන් කළ හැකි අන්දමටයි.
පෘථිවි ග්‍රහලොවට ඉහළින් ලොව මුලින්ම පියාසර කළ රයිට් සොහොයුරන්ගේ කුළුඳුල් අහස් යානය තම මංගල ගමන් වාරයට වැය කළේ ද තත්පර 12ක තරම් කෙටි කාලයක් පමණයි.
අඟහරු වායුගෝලයේ ඝනත්වය අපේ වායුගෝලයේ ඝනත්වයෙන් 1%ක් පමණ වුවත් ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරය බාධාවකින් තොර ව පියාසර කරන්නට සමත් වී තිබෙනවා.
හෙලිකොප්ටරයේ සවිකර තිබෙන සූර්ය පැනල මගින් ජනනය කෙරෙන විදුලියෙන් ආරෝපණය කෙරෙන එහි ලිතියම් අයන බැටරි වල බලයෙන් එක් අඟහරු දිනයක් තුළ ඉහත සඳහන්කළ පරිදි තත්පර 90ක පියාසැරියක් කළ හැකි වෙනවා.
Space.com ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි