සිව් වසරක් සම්පූර්ණ වුණු මෙහෙවරක අවසානය සනිටුහන් කරන අයුරින් එවන ලද මෙහි දැක්වෙන ඡායාරූපය ඉන්සයිට් අඟහරු ලෑන්ඩරය පෘථිවියට එවූ අවසන් පින්තූරය විය හැකි වනු ඇතැයි NASA ආයතනය සඳහන් කරනවා.
මේ වන විට කිලෝ මීටර් මිලියන 87ක් දුරින් පිහිටි අඟහරු ලොවේ සමකයට සමීප ව උතුරින් ඇති එලිසියම් ප්ලැනිෂියා නම් හුදෙකලා තැනිතලාව මත තිබෙන ඉන්සයිට් පතිත යානයේ (Lander) සූර්ය පැනල, භූ කම්පනමානය, රොබෝ බාහුව අතුළු උපකරණ රැසක් රතුවන් දූවිල්ලෙන් වැසී ගොසින් අවසන්.
පසුගිය දෙසැම්බර් 19 වෙනි දින NASA ආයතනය නිවේදනය කළේ ඉන්සයිට් ලෑන්ඩරය පෘථිවිය සමග සන්නිවේදනයන්ට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් ව ඇති බැවින් එහි මෙහෙයුම්වල අවසානයට පත් ව තිබිය හැකි බවයි.
මාස කිහිපයක සිට ම එහි සූර්ය පැනල මත පතිත ව තිබූ අඟහරු ලොවේ රත් පැහැ දූවිලි නිසා ම විශාල බලශක්ති ඌනතාවකට මුහුණ දී තිබුණා.
ඉන්සයිට් ලෑන්ඩරයේ මෙහෙයුම අතිශයින් ම ඵලදායී ගවේෂණයක්.
මීට පෙර කිසිදාක නො කළ අයුරින් අඟහරු ලොවේ අභ්‍යන්තරය අවබෝධ කර ගැනීමට හැකි භූ කම්පනමානයක් ඉන්සයිට් ලෑන්ඩරය මගින් රැගෙන ගිය අතර එමගින් පසුගිය සිව් වසර තුළ රතු ග්‍රහලොව මත සිදු වුණු භූ චලන 1,300කට වැඩි ගණනක් වාර්තා කළ හැකි ව තිබෙනවා.
ඉන් පසුගිය මැයි මස 4 වැනි දින වාර්තා කළ භූ කම්පනය මෙතෙක් අඟහරු ලොවින් වාර්තා වුණු විශාලතම භූ චලනය ද වෙනවා.
අඟහරු ග්‍රහලොවේ රතු දූවිල්ලෙන් වැසුණු ඉන්සයිට් ලෑන්ඩරය එනිසා ම දැන් එහි විදුලිය නිපදවන ජවය මුලදී ම තිබූ ප්‍රමාණයෙන් 20%ක් දක්වා පහත බැස තිබෙනවා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස මාස කිහිපයක් ඇතුළත ඉන්සයිට් ලෑන්ඩරයේ විද්‍යාත්මක මෙහෙයුම් නතර වනු ඇතැයි මෙහෙයුම් කළමනාකාරිත්වය පසුගිය මැයි මස 17 වැනි දින පැවති සම්මන්ත්‍රණයක දී එළිදරව් කර තිබුණා.
ඔවුන් එවිට පෙන්වා දුන්නේ 2018 වසරේ නොවැම්බර් මස ඉන්සයිට් ලෑන්ඩරය අඟහරු මත පතිත වූ විට එහි සූර්ය පැනල මගින් අඟහරු දින (සොල්) එකක දී වොට් – පැය 5,000ක විද්‍යුත් ශක්තියක් ජනනය කළ නමුත් මේ වන විට එය වොට් – පැය 500 දක්වා අඩු වී ඇති බවයි.
ඉන්සයිට් ලෑන්ඩරයේ නියෝජ්‍ය ව්‍යාපෘති කළමනාකාරිනී කාත්‍යා සැමෝරා ගාර්ෂියා එවිට සඳහන් කළේ මේ වසරේ කැලැන්ඩරය අවසන් වන විට ඉන්සයිට්හි සියලු මෙහෙයුම් ද නිමාවනු ඇති බවයි.
Science Alert හා Space.com ඇසුරිනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි