වසර මිලියන 120කට ඉහත දී කපුටෙකුගේ ප්‍රමාණය ඇති රැප්ටර් වර්ගයේ ඩයිනෝසෝරයෙකු තම අවසන් ආහාර වේල ලෙස ක්ෂීරපායී සතෙකු යොදාගත් බවට සාක්ෂ්‍ය ලැබී තිබෙනවා. පසුගිය දෙසැම්බර් 20 වෙනි දින Journal of Vertebrate Paleontology ජර්නලයේ පළ කර තිබෙන පර්යේෂණ වාර්තාවක මේ අනාවරණය දැක්වෙනවා.
පියාපත් හතරක් තිබූ මාංශ භක්ෂක ඩයිනෝසෝර් විශේෂයක් වන 𝑴𝒊𝒄𝒓𝒐𝒓𝒂𝒑𝒕𝒆𝒓 𝒛𝒉𝒂𝒐𝒊𝒂𝒏𝒖𝒔 ට අයත් හොඳින් සංරක්ෂිත වූ ෆොසිලයක පර්ශු කූඩුව තුළින් Rodentia නම් ගෝත්‍රයට අයත් කෘන්තකයෙකුගේ බවට පෙනෙන කුඩා ක්ෂීරපායී සතෙකුගේ සෙන්‍ටි මීටරයක පමණ දිගක් ඇති පාදයක් හමු වී තිබෙනවා.
මේ අනාවරණය මගින් ඩයිනෝසෝරයන් විසින් ක්ෂීරපායී සතුන් ආහාරය පිණිස ගිල දැමූ බවට වන පැරණිතම අවස්ථාව සළකුණු කෙරෙන බව පර්යේෂකයන් විසින් එම වාර්තාවේ සඳහන් කරනවා.
“මුලින් ම මට ඒක විශ්වාස කරන්නත් අපහසු වුණා.” මෙම අධ්‍යයන වාර්තාවේ සහාය කතුවරයෙකු වන කැනඩාවේ මොන්ට්‍රියල්හි McGill සරසවියේ පෘෂ්ඨවංශී පාෂාණිධාතු විද්‍යාඥයෙකු මෙන් ම එයට අයත් Redpath කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා ද වන හෑන්ස් කාල් ලාර්සන් පවසනවා.
“දීර්ඝ කාලයකට පෙර වඳ වී ගිය මේ සතුන්ගේ ආහාර පරිභෝජනය පිළිබඳ ව අපට ලැබී තිබෙන එක ම විශ්වාසදායී සාක්ෂ්‍ය වන්නේ මේවායි. ඒවා අසාමාන්‍ය ලෙස විරලයි.” මේ පිළිබඳව තවදුරටත් ප්‍රකාශ කරමින් ඔහු සඳහන් කළේ මේ සොයා ගැනීමට පෙර මාංශ භක්ෂක ඩයිනෝසෝරයෙකුගේ අවසන් භෝජනය ඇතුළත් ව තිබුණු ෆොසිල අවශේෂයන් හමු වී ඇත්තේ අවස්ථා 20ක දී පමණක් බවයි.
𝑻𝒚𝒓𝒂𝒏𝒏𝒐𝒔𝒂𝒖𝒓𝒖𝒔 𝒓𝒆𝒙 පවා අයත් වන ද්විපාදික හා මාංශ භක්ෂක ඩයිනෝසෝර් කාණ්ඩයක් වන තෙරොපෝඩාවන්ගෙන් මෙවැනි ආහාරයක් පිළිබඳව ඍජු සාක්ෂි ලැබුණු දෙවෙනි අවස්ථාව මෙය බව අධ්‍යයන වාර්තාවේ දැක්වෙනවා.
මේ නව සොයා ගැනීමට අදාළ Microrapter ෆොසිලය හමු වී තිබෙන්නෙ ඊසානදිග චීනයට අයත් Liaoning පළාතේ පිහිටි Jiufotang Formation නම් ආදි භූ විද්‍යාත්මක ප්‍රදේශයෙන්.
වසර මිලියන 145 කට ඉහත සිට වසර මිලියන 100.5 දක්වා පැවති මුල් ක්‍රිටේසීය අවධියට අයත් ෆොසිලයන් මෙම සංචිතයේ ඇතුළත් වෙනවා.
හෑන්ස් කාල් ලාර්සන් ප්‍රකාශ කළේ තමන්ගේ උදරයන් තුළ මත්ස්‍යයන්ගේ, පක්ෂීන්ගේ හා උරගයන්ගේ කොටස් සහිතව පරිරක්ෂණය වුණු Microrapter ෆොසිලයන් දැනටමත් දන්නා නමුත් කුඩා ක්ෂීරපායී සතෙකු එසේ ඇතුළත් බව සොයාගත් මුල් ම අවස්ථාව මෙය බවයි. ඔවුන් කිසියම් විශේෂ ආහාරයක් සඳහා හැඩගැසී නො තිබීම වැදගත් වන බවත්, ක්‍රිටේසීය පරිසර පද්ධතියේ විවිධ සතුන් ආහාරයට ගන්නා වර්ගයේ මාංශ භක්ෂකයෙකු පිළිබඳ පළමු සාක්ෂ්‍යය මෙය විය හැකි බවත් ඔහු සඳහන් කරනවා.
අද දවසේ වෙසෙන සිවලුන් හා කපුටන් මෙන් පරිසර පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ මෙහෙවරක් ඔවුන්ගෙන් සිදු වන්නට ඇති බව ඔහු පෙන්වා දෙනවා.
Live Science සහ Journal of Vertebrate Paleontology ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි