සෞරග්‍රහ මණ්ඩලය ඇතූළත ජීවය සොයන බොහෝ විද්‍යාඥයන්ගේ ඇස් යොමු ව ඇත්තේ සෙනසුරුගේ උප ග්‍රහ වන එන්සෙලඩස් (Enceladus) වෙතටයි. කරදියෙන් පිරි සාගර ලොවක් වන එහි මතුපිට ආවරණය වී ඇත්තේ කිලෝමීටර 5 ක ඝනකමකින් යුතු අයිස් තට්ටුවකින්. උපග්‍රහයාගේ අභ්‍යන්තර උෂ්ණත්වය හේතුවෙන් සාගර ජෛවගෝලයක් ද ඒ මත පවතින්නට සෛද්ධාන්තික ව ඉඩ තිබෙනවා.
කෙසේ නමුත් ඒ මත ජීවය සොයා යෑම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. අද වන තුරු වීද්‍යාඥයන් සිතා සිටියේ එන්සෙලඩස්ගේ රහස් සෙවීමට නම් එහි සාගරය වෙත ප්‍රවිශ්ඨ විය යුතු ම බවයි. කිලෝමීටර් පහක පළලකින් යුතු ඝන අයිස් තට්ටුවක් හාරාගෙන කිඳා බසිමින්, සාගරයට පිවිසි පසු ඒ තුළ පිහිනා යා හැකි පරිදි ගවේෂණ යානයක් තැනීම තරමක අභියෝගයක්. නමුත් නව අධ්‍යයනයකින් පෙනී ගොස් තිබෙන්නේ එන්සෙලඩස්ගේ රහස් සොයා යාමට එහි අයිස් කටුව විද අභ්‍යන්තර සාගරයට පිවිසීම අත්‍යවශ්‍ය ම නො වන බවයි.
එන්සෙලඩස් උපග්‍රහයාගේ අයිස් මතුපිට සිදුරු කරමින් ඇතැම් තැන්වල ජලය පිටතට විදීම සිදු වනවා. මේවා ජලය පිටතට විදාරණය කරන ගිනි කඳු වැනියි. මෙවැනි භූ පිහිටුම්වලට ඉහළන් පියාසර කරන කක්ෂගත යානයක් මේ සඳහා ආදේශ කරගත හැකි බවයි නව අධ්‍යයනයෙන් පැහැදිලි වන්නේ. ග්‍රහවිද්‍යාඥයන් හට සුවිශේෂ තොරතුරු රැසක් දායාද කරමින් අවසන් ගමන් ගිය කැසිනි යානය ද මීට දශකයකට පමණ ඉහත දී එන්සෙලඩස් වෙත එබිකම් කළ මොහොතේ මෙවැනි ව්‍යුහයන්ට ඉහළින් ගමන් කරමින් සිටිය දී කුතුහලය දනවනසුළු ජල අනු කිහිපයක් ම ග්‍රහණය කරගන්නට සමත් වුණා.
“අඳුරේ මෙන් ම විෂම පීඩන තත්ත්ව යටතේ වුණත් පෘථිවියේ නම් ජලතාප වා-දොර (hydrothermal vents) ලොකු කුඩා ජීවීන්‌ගෙගෙ පිරී පවතිනවා. එහි සිටින සරලතම ජීවියා වන්නේ හිරු එළිය නැති විට දී පවා තමාව ම බලගන්වා ගන්නට සමත් මිතනොජීන්ස් (methanogens) නම් වූ අනු ජීවීන් විශේෂයයි. මෙවැනි තත්ත්වයක් එන්සෙලඩස් මත ද පැවතිය හැකියි.” මෙසේ පවසන්නේ අමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ආචාර්ය, පරිණාමීය ජීවවිද්‍යාඥ Regis Ferrière.
ඔහු පවසන්නේ සංකීර්ණ මෙන් ම අතිශය සංවේදී කක්ෂගත යානයක ආධාරයෙන් මේ ‘ජල කපොලුවලින්’ පමණක් වුව ද අතිශය වැදගත් තොරතුරු රාශියක් රැස් කර ගැනීමට අවකාශය සැලසෙනු ඇති බවයි.
පෘථිවියේ සාගර පත්ලෙහි මෙන් එන්සෙලඩස්ගේ ද සාගර පත්ල මත ජීවයට හිතකර පරිසර පද්ධතියක් පැවතිය හැකි බව උපකල්පනය කෙරෙනවා. පෘථිවි පැය 32.9කට වතාවක් සිය මව් ග්‍රහයා වන සෙනසුරු වටා යන වටයක් සම්පූර්ණ කරන එය ගමන් ගන්නේ අභ්‍යන්තර සාගරය කැලතෙන ඉලිප්සීය කක්ෂයකයි. මේ හේතුවෙන් ම එහි හරයට ආසන්න සාගර කලාප ජලය ලෙසින් ම පැවතීමට ප්‍රමාණවත් උෂ්ණත්වයක් පවතිනවා.
Science Alert ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි