Home Science News සඳ සහ පෘථිවිය, දනුරිගේ කාචයට හසු වේ 

සඳ සහ පෘථිවිය, දනුරිගේ කාචයට හසු වේ 

by Sathya

දකුණු කොරියාව විසින් කක්ෂගත කරන ලද  පළමුවැනි අභ්‍යවකාශ යානය වන දනුරි (Danuri) විසින් පෘථිවියේ හා සඳ මතුපිට කළු-සුදු ඡායාරූප එවා ඇති බව එරට ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පසුගිය ජනවාරි 03 වැනි දා නිවේදනය කළා.

දනුරි යනු ˝සඳ˝ සහ ˝රසවිඳීම˝ යන අර්ථ ලබාදෙන පරිදි කොරියානු බසින් නිර්මාණය කරන ලද නමක්. 2022 අගෝස්තු මාසයේ දී එක්සත් ජනපදයේ SpaceX රොකට්ටුවකින් දියත් කරන ලද එය චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ දීයි. දැනට දනුරි සෑම පැය දෙකකට වරක් සඳ වටා ගමන් කරන බව පැවසෙනවා.

දනුරි විසින් චන්ද්‍ර පෘෂ්ඨය හා පෘථිවිය පෙන්නුම් කෙරෙන, මේ කළු-සුදු ඡායාරූප පසුගිය දෙසැම්බර් 24 හා ජනවාරි 1 අතර කාලය තුළ ලබාගෙන ඇති අතර, මේ සේයා රූ ලබාගෙන ඇත්තේ සඳ මතුපිට සිට කිලෝමීටර 120කටත් වඩා අඩු දුරකින් යානය ස්ථානගත ව තිබියදීයි. ඇය එවන ඡායාරූප හා වීඩියෝ දර්ශන 2032 දී සිදුවන සඳ මත ගොඩබැසීමක් සඳහා සුදුසු ප්‍රදේශ තෝරාගැනීමට භාවිත කරනු ඇති බව දකුණු කොරියානු ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.

මේ යානය ලබන මාසයේ දී සිය විද්‍යාත්මක මෙහෙයුම් ආරම්භ කරනු ඇති අතර එයට චන්ද්‍ර භූමි සිතියම්ගත කිරීම, විශ්ලේෂණය කිරීම මෙන්ම චන්ද්‍රයාගේ චුම්බක ශක්තිය හා ගැමා කිරණ මැනීම ද ඇතුළත් වෙනවා. ඊට අමතර ව එය ඡායාරූප හා වීඩියෝ පෘථිවියට සම්ප්‍රේෂණය කිරීමෙන් අභ්‍යවකාශ අන්තර්ජාල තාක්ෂණය ද පරීක්ෂා කර බැලීමට නියමිතයි.

දනුරිගේ මේ ජයග්‍රහණය කොරියානු අභ්‍යවකාශ වැඩසටහනේ ඓතිහාසික අවස්ථාවක් වන බව එරට ජනපති යූන් සුක්-යෝල් ප්‍රශංසාත්මකව සඳහන් කර තිබෙනවා.

දකුණු කොරියාව 2032 වන විට චන්ද්‍රයා මත අභ්‍යවකාශ යානා ගොඩබෑමටත්, 2045 වන විට අඟහරු ග්‍රහයා ඇතුළු වෙනත් අභ්‍යවකාශ පියාසැරි සඳහා මුලපිරීමටත් සැලසුම් සකස් කොට තිබෙනවා.

Science Alert ඇසුරෙනි.

තරුෂි කෞෂාණි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications