කුඩා ග්ලැසියර බොහොමයක් ඇතුළත් ව පෘථිවියේ ඇති සමස්ත ග්ලැසියරවලින් අඩක් පමණ දේශගුණික විපර්යාස හේතුවෙන් මේ සියවසේ අග භාගය වන විට අතුරුදහන් වීමට නියමිත බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. නමුත් ගෝලීය උණුසුම සීමා කිරීමෙන් ඉතිරි ග්ලැසියර ප්‍රමාණය බේරාගැනීමට තවමත් අපට හැකියාව පවතින බව විද්‍යාඥයන් පවසනවා.
පසුගිය දා Science ජර්නලයේ ප්‍රකාශයට පත් වූ මේ අධ්‍යයනය ලෝකයේ ග්ලැසියර 215,000ක අනාගතය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක දැක්මක් ලබාදෙන්නක්. ඒ හරහා මුහුදු මට්ටම ඉහළ යාම හා ජල සම්පත් ක්ෂය වීම වැනි ග්ලැසියර දියවීමෙන් ඇතිවන ප්‍රතිවිපාක සීමා කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය සීමා කිරීමේ වැදගත්කම අධ්‍යයනයේ කතුවරුන් අවධාරණය කරනවා.
දිශානති ප්‍රතිපත්ති සම්පාදකයන්ට උපකාරී වන පරිදි අධ්‍යයනයේ දී ප්‍රධාන වශයෙන් ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්ව සෙල්සියස් අංශක 1.5, 2.0, 3.0 හා 4.0 යන අගයන්වලින් වෙනස් වීම හමුවේ ග්ලැසියර මත ඇතිවිය හැකි බලපෑම සොයා බැලුණා.
මේ අනුව ගෝලීය උෂ්ණත්වයේ වෙනස සෙල්සියස් අංශක 1.5 කට සීමා වුවද 2100 වසර වන විට ලෝකයේ ඇති ග්ලැසියරවලින් 49%ක් අතුරුදන් වනු ඇති බවට පර්යේෂකයන් ගණන් බලා තිබෙනවා. මේ ප්‍රමාණය ලෝකයේ පවතින ග්ලැසිරවල සමස්ත ස්කන්ධයෙන් 26%ක් පමණ නියෝජනය කරනු ඇති අතර මෙහි දී මුලින් ම බලපෑමට ලක්වන්නේ කුඩා ම ග්ලැසියරයි.
සත්‍ය වශයෙන් ම ගෝලීය මධ්‍යස්ථ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.7කින් වැඩි වනු ඇති බවට දැනට ඇස්තමේන්තුගත කර ඇති අතර එමඟින් මධ්‍යම යුරෝපයේ, බටහිර කැනඩාවේ, මහද්වීපික එක්සත් ජනපදයේ හා නවසීලන්තයේ ග්ලැසියර සම්පූර්ණයෙන් ම නැති වී යනු ඇති.
අනාගතයේ දී තත්ත්වය කොතරම් නරක අතට හැරේවිදැයි සොයාබැලුවහොත් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.0කින් ඉහළ යන විට ඇලෙස්කාවේ ඇති යෝධ ග්ලැසියරවලට පවා විශාල බලපෑමක් ඇති වී සමස්ත ග්ලැසියර ප්‍රමාණයෙන් 83%ක් සියවස අවසානයේ දී අතුරුදන් වනු ඇති.
ග්ලැසියර විනාශය මුහුදු මට්ටම ඉහළ යාමට හේතුවන බව අප දන්නා කරුණක්. අධ්‍යයනයෙන් අනාවරණය වී ඇති පරිදි ගෝලීය උෂ්ණත්වයේ වෙනස සෙල්සියස් අංශක 1.5ක් වීම යටතේ සාමාන්‍ය මුහුදු මට්ටම සෙන්ටිමීටර නවයකින් ද ගෝලීය උෂ්ණත්වයේ වෙනස සෙල්සියස් අංශක 4.0ක් වීම යටතේ සාමාන්‍ය මුහුදු මට්ටම සෙන්ටිමීටර 15කින් ද ඉහළ යා හැකියි. මීට අමතර ව බිලියන දෙකක පමණ ජනතාවකට මිරිදිය සපයන ග්ලැසියර අතුරුදහන් වීමත් සමග ජල සම්පත් සම්බන්ධයෙන් ද විශාල ගැටලුවක් මතුවිය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ඇතුළු ව සමස්ත මිනිස් ක්‍රියා කලාපය පාලනය කිරීම හරහා සිදුවිය හැකි පාඩුව යම්තාක් දුරකට අවම කරගත හැකි බව අධ්‍යයනයේ සම කර්තෘ Regine Hock පවසනවා.
Science Alert ඇසුරෙනි.
තරුෂි කෞෂානි