Home Science News දරුණු අක්ෂි වේදනා ඇති කරන කෘමියෙක් ඕස්ට්‍රේලියාවේ

දරුණු අක්ෂි වේදනා ඇති කරන කෘමියෙක් ඕස්ට්‍රේලියාවේ

by Sathya

කුඩා ස්වදේශික කෘමියෙකු නිකුත් කරන විෂ සහිත ස්‍රාවයක් නිසා ඇති වන “Christmas Eye” නම් දුර්ලභ හා වේදනාකාරී අක්ෂි ආබාධයක් කලකට පසු ගිනිකොණදිග ඕස්ට්‍රේලියාවෙන් නැවතත් මතු වී තිබෙනවා. මෙසේ ඇති වන අක්ෂි වේදනාව තරමක සුළු රෝග ලක්ෂණයක් ලෙස පෙනුනත් විශේෂඥයන් පවසන්නේ ඒ වේදනාව බොහෝ විට දරු ප්‍රසූතියේ දී ඇති වන වේදනාවට සමාන වන බවයි.

“Christmas Eye” අක්ෂි ආබාධයේ වඩාත් අසාමාන්‍ය ලක්ෂණය නම් එය සාමාන්‍යයෙන් වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ඊසාන දෙසින් කිලෝමීටර 300ක් පමණ දුරින් පිහිටි ඇල්බරි-වොඩොංගා ප්‍රදේශයෙන් පමණක් වීමයි. මේ ආබාධය ගොවිතැන් කටයුතුවලට සම්බන්ධතාවයක් දක්වන නිසා එය “Albury-Wodonga syndrome” හෙවත් “Harvester’s Keratitis” යනුවෙන්ද හැඳින්වෙනවා.

ඇල්බරි-වොඩොංගා කලාපයේ අක්ෂි වෛද්‍යවරයෙකු වන රොබ් හොලෝවේ පවසන්නේ “Christmas Eye” අක්ෂි ආබාධය හටගන්නට හේතුවන්නේ දිගින් මිලිමීටර එකකටත් වඩා අඩු orthoperus නම් දේශීය කෘමි විශේෂයක් බවයි. මේ කුරුමිණියන් තලා දැමූ විට නම් Pederin සංඝටකයක් සහිත විෂ සංයෝගයක් පිට කෙරෙන අතර හොලොවේ පවසන පරිදි මේ ස්‍රාවය ඇසේ මතුපිට බිබිලි ඇතිකරන්නට හේතු වෙනවා.

ඇල්බරි-වොඩොංගා ප්‍රදේශය ආශ්‍රිත ව මෑතක දී මේ අක්ෂි ආබාධය සම්බන්ධ සිදුවීම් තරමක් වැඩිපුර වාර්තා වී තිබෙනවා. හොලෝවේ පවසන්නේ මෙයට ශීත හා වසන්ත ඍතුවල ඇති වූ අධික වර්ෂාපතනය බලපාන්නට ඇති බවයි. 

සාමාන්‍යයෙන් වසරක දී මෙවැනි සිදුවීම් දහයක් පමණක් වාර්තා වුවත් පසුගිය නත්තල් සමයේ සිට මේ සම්බන්ධ සිදුවීම් 25-30 අතර ප්‍රමාණයක් වාර්තා වී ඇති බව වෛද්‍යවරුන් පවසනවා.

වාසනාවකට මෙන් හොලෝවේ පවසන්නේ සාම්ප්‍රදායික ප්‍රතිජීවක ප්‍රතිකාර හරහා වඩාත් පහසුවෙන් “Christmas Eye” අක්ෂි ආබාධය සමනයට පත්කළ හැකි බවයි. ප්‍රතිකාරවලින් අනතුරු ව දෙසතියක් ගත වන විට මේ ආබාධය පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි බව වෛද්‍යවරුන් පවසනවා.

Science Alert ඇසුරෙනි.

තරුෂි කෞෂානි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications