Home Science News පිළිකා හඳුනා ගැනීමට කුහුඹුවන්

පිළිකා හඳුනා ගැනීමට කුහුඹුවන්

by Sathya

2020 වසරේදී ලොව පුරා මිලියන 19කට අධික පිළිකා රෝගීන්ගෙන් මියගිය සංඛ්‍යාව මිලියන 10ක් පමණ වෙනවා.

වාර්ෂිකව මරණවලට බලපාන පළමු පෙළේ සාධකයක් වන පිළිකා හඳුනා ගත හැකි ක්‍රමයක් සඳහා කුහුඹුවන් පුහුණු කළ හැකි බව නවතම අධ්‍යයනයකින් දැක්වෙනවා.

මිනිසුන්ගේ රෝග විනිශ්චය කෙරෙන ක්‍රමයක් ලෙසින් කලක සිට ම කුහුඹුවන්ගේ ඉව ඇල්ලීම ප්‍රයෝජනයට ගැනුණ ද මේ නවතම සොයාගැනීම බෙහෙවින් වැදගත් එකක් බව පර්යේෂකයන් පවසනවා.

කුහුඹුවන්ට අපට මෙන් නාසයක් නොමැති වුව ද ඔවුන් තම ස්පර්ශක මත පිහිටා තිබෙන ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක ආධාරයෙන් ආහාර මෙන් ම තම සහකරුවන් හෝ සහකාරියන් නිවැරදි ව හඳුනා ගැනීමට සමත් වෙනවා.

පසුගිය ජනවාරි 25 වැනි දින Proceedings of the Royal Society B : Biological Sciences නම් ජර්නලයේ පළ කරන ලද අධ්‍යයනයකට අනුව විද්‍යාඥයින් විසින් 𝑭𝒐𝒓𝒎𝒊𝒄𝒂 𝒇𝒖𝒔𝒄𝒂 යන විශේෂයට අයත් සේද කුහුඹුවන් දුසිම් තුනකට ආසන්න ගණනකගේ මෙම සියුම් ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහකයන් වෙනස් ම කාර්යයක් සඳහා පුහුණු කර තිබෙනවා.

ඒ පිළිකා හෙවත් මාත්සරික අර්බුද (malignant tumors) සොයාගැනීම පිණිසයි.

සැබවින් ම කුහුඹුවන්ගේ ලෝකය ගන්ධයන්ගෙන් පිරුණු ලොවක් ලෙස පෙන්වාදිය හැකියි. ඇතැම් විශේෂ මුළුමනින් ම අන්ධයි. ඒ අනුව ඔවුන්ගේ ගන්ධ සංවේදනය ඉතා තියුණු වූවක් වනවා.

ඒ අනුව ඉහත සේද කුහුඹුවන් 35 දෙනෙකු යොදාගත් පර්යේෂණයක දී විද්‍යාඥයින් විසින් කාන්තාවන්ගේ පියයුරු පිළිකාවලින් වෙන් කරගත් පටක තීරු විද්‍යාගාර තුළ දී මීයන් හට බද්ධ කර තිබෙනවා.

එසේ බද්ධ කරන ලද මීයන් පිට කළ මූත්‍රා සහිත පෙට්රි දීසි අසල එසේ නො කළ මීයන් පිට කළ මූත්‍රා සහිත දීසි අසලට වඩා 20% කින් වැඩි කාලයක් ඉහත කුහුඹුවන් ගත කර ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

පිළිකා සෛල සුවිශේෂ වාෂ්පශීලී කාබනික සංයෝග නිපදවනවා. මේ සංයෝග පිළිකා පිළිබඳ ජෛව සළකුණු ලෙස යොදාගත හැකියි.

ඒවා පිළිකා රෝගීන්ගේ මූත්‍රාවල අන්තර්ගත වීම නිසා ම ඉහත පර්යේෂණයට අනුව එවැනි මූත්‍රාවල තිබෙන එම සංයෝග හඳුනා ගැනීම පිණිස බල්ලන් මෙන් ම කුහුඹුවන් ද ඉක්මනින් පුහුණු කරවිය හැකියි.

ඒ අනුව කුහුඹුවන් ආධාරයෙන් පිළිකාවක් මුල් අවධියේ දී ම හඳුනා ගැනීමට හැකි වීම තුළින් වඩාත් ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කළ හැකි වෙනවා.

තම පර්යේෂණයෙන් ලද ප්‍රතිඵල තුළින් පිළිකා අනාවරණය කිරීම සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් තැබිය හැකි බව මේ අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතුවර ප්‍රංශයේ සෝබෝන් පැරිස් නෝර්ත් සරසවියේ සත්ත්ව චර්යා විද්‍යාඥ Baptiste Piqueret  පවසනවා.

Live Science සහ The Washington Post ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications