Home Science News දින 45කින් අඟහරු වෙත ළඟා වන්නට න්‍යෂ්ටික එන්ජිමක්

දින 45කින් අඟහරු වෙත ළඟා වන්නට න්‍යෂ්ටික එන්ජිමක්

by Sathya

අඟහරු ග්‍රහලොව වෙත දින 45ක කාලයකින් අභ්‍යවකාශගාමීන් යැවිය හැකි න්‍යෂ්ටික බලයෙන් පණ ගැන්වෙන රොකටයක් නිර්මාණය කිරීමට NASA ආයතනය සැලසුම් කර ඇති බව අනාවරණය වනවා.

පසුගිය ජනවාරි මස 24 වැනි දින NASA ආයතනය නිවේදනය කළ පරිදි පෙන්ටගනයේ ආරක්ෂක උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය ( DARPA ) සමග හවුලේ සැලසුම් කෙරෙන න්‍යෂ්ටික තාපජ රොකට් එන්ජිමක් 2027 වසර තරම් ඉක්මනින් නිපදවිය හැකි බව දැක්වෙනවා.

පසුගිය වසරේ අග භාගයේ දී චන්ද්‍රයා වටා ඓතිහාසික කක්ෂගත වීමක යෙදුණු Artemis 1 සඳහා යොදාගත් Space Launch System ඇතුළු NASA හි වත්මන් රොකට් පද්ධතිවලට පදනම් වී ඇත්තේ සියවසක් පමණ පැරණි සාම්ප්‍රදායික රසායනික ප්‍රචාලන ක්‍රමයයි. එයට ඇතුළත් වන්නේ දහනයට ඇවැසි ඔක්සිජන් වැඩියෙන් ලබාදෙන ඔක්සිකාරක ද්‍රව්‍යයක් සමග මිශ්‍ර කළ රොකට් ඉන්ධනයක් දැවීමෙන් ප්‍රචාලන බලය උපදවන ජෙට් ප්‍රවාහයක් නිර්මාණය කිරීමයි.

අනෙක් අතට යෝජිත න්‍යෂ්ටික රොකට් ප්‍රචාලනය පෙර සඳහන් ක්‍රමය මෙන් තුන් වාරයක් හෝ එයටත් වැඩි කාර්යක්ෂමතාවයක් ඇති නිසා ම වත්මන් අඟහරු චාරිකාවකට ගතවන මාස 7ක කාලය කිහිප ගුණයකින් අඩු කිරීමට සමත් වනවා.

“DARPA සහ NASA ආයතන දෙකේ ඵලදායී සහයෝගීතාවයට දිගු ඉතිහාසයක් තිබෙනවා. එය මිනිසා සඳ වෙත රැගෙන ගිය සැටර්න් V රොකටයේ සිට ඇරඹුණු එකක්. චන්ද්‍රයා වෙතට කාර්යක්ෂම ව ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අඟහරු වෙතට ඉක්මනින් මිනිසුන් ගෙනයාම සඳහා අභ්‍යවකාශ තාක්ෂණයේ ඉතා වේගවත් දියුණුවීම් අවශ්‍ය වෙනවා.” DARPA ආයතනයේ අධ්‍යක්ෂවරිය මෙන් ම භූ විද්‍යාඥවරියක වන Stefanie Tompkins එසේ පවසනවා.

න්‍යෂ්ටික රොකට් ප්‍රචාලන එන්ජින් වර්ග දෙකක් හඳුන්වා දී තිබෙනවා. ඉන් පළමුවැන්න න්‍යෂ්‍ටික විද්‍යුත් ප්‍රචාලන (NEP) ප්‍රතික්‍රියාකාරකයි. ඒවායේ ජනනය කෙරෙන විද්‍යුතය මඟින් සෙනොන් සහ ක්‍රිප්ටන් වැනි උච්ච වායු වලින් මුදා හැරෙන ඉලෙක්ට්‍රෝන අභ්‍යවකාශ යානයේ ප්‍රචාලකයෙන් අයන ප්‍රවාහයක් ලෙස පිට කෙරෙනවා.

න්‍යෂ්ටික තාපජ ප්‍රචාලන (NTP) ප්‍රතික්‍රියාකාරක නම් දෙවෙනි වර්ගය NASA ආයතනය විසින් පරීක්ෂා කර තිබෙන අතර එහි දී න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවකින් නිපදවෙන තාපය මඟින් හයිඩ්‍රජන් හෝ ඇමෝනියා වැනි වායුවක් ප්‍රසාරණය කර නැසින්නක් තුළින් යැවීමෙන් ප්‍රචාලන බලය උපදවනවා.

NASA සහ DARPA ආයතන දෙක මේ පර්යේෂණ සඳහා කරනු ලබන උත්තේජජනක ආයෝජනය මඟින් අනාගතය දැල්වීමට දරන උත්සාහය වෙනුවෙන් තමන් සුබ පතන බව NASA ආයතනයේ ප්‍රධානි බිල් නෙල්සන් පවසනවා.

Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications