Home Science News තුර්කි භූ කම්පනයේ මරණ සංඛ්‍යාව ඉහළට

තුර්කි භූ කම්පනයේ මරණ සංඛ්‍යාව ඉහළට

by Sathya

පෙබරවාරි 06 වැනිදා තුර්කියට හිරු උදා වූයේ අතිශය ප්‍රබල භූ කම්පනයකින් සිදු වූ මහා ව්‍යසනයක සුන්බුන් මතින්. 6 වැනි දා අලුයම සිරියානු දේශ සීමා ආසන්නයේ හටගත් මේ භූ කම්පන මාලාවේ කම්පන තරංග ලොව පුරා පිහිටි සංවේදක මඟින් ග්‍රහණය කරගනු ලැබුණා. නවතම තොරතුරුවලට අනුව මේ වන විට තුර්කියේ සහ සිරියාවේ තහවුරු කරගත් පුද්ගල මරණවල එකතුව අද වන විට 15,000 ඉක්මවා තිබෙනවා. 

අලුයම සිදු වූ ප්‍රථම භූ කම්පනය හටගත්තේ Pazarcik දිස්ත්‍රික්කය මුල් කරගෙනයි. මැග්නිටියුඩ් මාපක 7.8ක විශාලත්වයකින් යුතු වූ එය Gaziantep, Sanliurfa, Diyarbakir, Adana, Adiyaman, Malatya ඇතුළු තවත් පළාත් කිහිපයකට ම බලපා තිබුණා. එදින ම දහවල් කාලයේ මැග්නිටියුඩ් මාපක 7.6ක දෙවැනි කම්පනයක් හටගත්තේ එල්බිස්ටන් දිස්ත්‍රික්කය මුල් කරගෙනයි. එහි කම්පනය ලෙබනනය ඇතුළු තවත් අසල්වාසී ර‍ාජ්‍යයන් කිහිපයකට ම දැනුණු බව වාර්තා වනවා. එදින ම සවස තුන්වැනි පසු කම්පනය මැග්නිටියුඩ් මාපක 6.0ක ප්‍රබලත්වයකින් යුතු ව වැදු‍ණේ තුර්කියේ ගොස්කුන් දිස්ත්‍රික්කයටයි. මෙසේ එක් දිනක් තුළ ව්‍යසනකාරී භූ කම්පන පහකට නතු වන්නට තුර්කියට සිදු වුණා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි තුර්කිය මෙතෙක් කල් මුහුණ දුන් භූ කම්පන අතර ප්‍රබලතම භූ කම්පනය එදින අලුයම සිදු වූ මැග්නිටියුඩ් මාපක 7.8කින් යුතු භූ කම්පනය බවයි. තුර්කි ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

තුර්කිය පිහිටා තිබෙන්නේ භූ තැටි තුනක් යා වන භූ ගෝලීය වශයෙන් අස්ථාවර කලාපයකයි. එය පිහිටා තිබෙන්නේ ඇනාටොලියානු (Anatolian) නම් අප්‍රධාන භූ තැටිය මතයි. ඇනාටොලියානු භූ තැටිය, ආරාබි භූ තැටිය හා අප්‍රිකානු භූ තැටිය එකිනෙක හමුවන්නේ තුර්කියට ආසන්නයෙන්. අරාබි භූ තැටිය නිරන්තරයෙන් උතුරු දෙසින් පිහිටි යුරෝපය දෙසට තල්ලු වනවා. මෙනිසා අනාටොලියානු තැටිය බටහිර දෙසට තල්ලු වන්නට ගන්නවා. මේ ක්‍රියා කලාපය හේතුවෙන් පොළොව යට රැස්වන පීඩනය එක්වර ම හටගන්නා භූ කම්පන මඟින් පිටකර හැරෙනවා. ඉකුත් 6 වැනි දා සිදු වූයේත් එයයි. එක ම වෙනස එය මින් පෙර අත් නො විඳි තරමේ බලවත් භූ කම්පනයක් වීමයි.

තවමත් සිවිල් ජනයා සුන් බුන් අතර සිර වී සිටිනවා. ඔවුන් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි. 

සිරියානු සිවිල් ඉංජිනේරුවකු අල් ජසීරා වෙබ් අඩවියට පවසා තිබෙන්නේ ගොඩනැඟිලි මෙතරම් ඉක්මනින් කඩා වැටීමට හේතුව දෙ රට වසර දහයක් පුරා මුහුණදෙන අධි බලැති බර අවි ප්‍රහාරයන් බවයි. මේවායේ කම්පනයන් මඟින් කාලාන්තරයක් තිස්සේ ගොඩනැඟිලි ව්‍යුහයන් දුර්වල වෙමින් පැවැති බවයි ඔහු සඳහන් කරන්නේ.

The Conversation, Al Jazeera, සහ BBC ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications