ඉකුත් සතියේ American Astronomical Association (ඇමරිකානු තාරකාවිද්‍යා සංගමය) විසින් පවත්වනු ලැබූ හමුවක දී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ අනුප්‍රාප්තිකයා කෙසේ විය යුතු ද යන්න පිළිබඳ සාකච්ඡාවක් සිදු වූ බව Science ජර්නලය වාර්තා කරනවා. මීටර 6.5ක විශ්කම්භයකින් යුතු ජේම්ස් වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශ ගත ව සිය මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය වසරේ දී යි. එතැන් සිට මේ දක්වා ගත ව ඇති සුළු කාලය පුරා මෙතෙක් නුදුටු දෑ බොහෝමයක් අප වෙත සමීප කරවන්නට එය සමත් ව තිබෙනවා. වෙබ්ගෙන් පසු ව එය ප්‍රතිස්ථාපනය කළ හැකි දුරේක්ෂයක් ගැනත් දැන් ම සිතන්නට විද්‍යාඥයන් මෙහෙයවා ඇත්තේ එහි ඇති සාර්ථකත්වය නිසා ම යි.
NASA ආයතනයේ තාරකා භෞතිකවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ මාක් ක්ලැම්පින් එහි දී පවසා තිබෙන්නේ නව දුරේක්ෂය පිළිබඳ දැනට ඇත්තේ සුළු එකඟතා ප්‍රමාණයක් පමණක් බවයි. නමුත් ඔහු එහි අන්තර්ගත වන පහසුකම් කිහිපයක් පිළිබඳ තොරතුරු ද බෙදාගන්නට අමතක කළේ නැහැ.
ඒ අනුව මෙහි ද ගමනාන්තය වනු ඇත්තේ ජේම්ස් වෙබ් ස්ථානගත ව ඇතිවාක් මෙන් L2 හෙවත් Lagrangian Point යනුවෙන් හැඳින්වෙන පෘථිවියට කිලෝමීටර මිලියන 1.5ක් ඈතින් පිහිටන ගුරුත්ව තරංග සමබර ව පවතින ස්ථානයක්. රොබෝතාක්ෂණික ක්‍රමවේද මඟින් ස්වයංක්‍රීය ව ම නඩත්තු සේවා ඉටුකර ගත හැකි පරිදි මෙන් ම ස්වයංක්‍රීය ව ම යාවත්කාලීන විය හැකි පරිදි සකස් වන මෙය දශක ගණනාවක් වුවත් කාලයට අනුගත ව පවත්වා ගත හැකි වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වනවා.
තවමත් මෙහි නිපදවීම පිළිබඳ නිශ්චිත වැය ශීර්ෂයක් සකස් කර නැහැ. නමුත් මේ ව්‍යාපෘතියේ පූර්ව කටයුතු සඳහා දුරේක්ෂයේ නම ලෙස ‘Habitable World Observatory – HWO’ හෙවත් ‘ජීවයට හිතකර ලෝක නිරීක්ෂණාගාරය’ යන්න යොදා ගැනෙනවා.
NASA විසින් යැවෙන මීළඟ අභ්‍යවකාශ දුරේක්ෂය HWO පමණක් ම වනු ඇතැයි කියන්නට බැහැ. මෙය මෙහෙයුම් අරඹන විට 2040 පමණ වනු ඇති බවයි දැනට අනුමාන කෙරෙන්නේ. ඒ අතරතුර 2027 දී පමණ පිටස්තර ග්‍රහලෝක සහ අඳුරු පදාර්ථ සෙවීම පිණිස Nancy Grace Roman නම් වූ අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය ද අභ්‍යවකාශගත කිරීමට නියමිත ව තිබෙනවා.
Science ජර්නලය ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි