වනාන්තරවලට අත්වන ඉරණම පිළිබඳ කතා කිරීමේ දී බොහෝ විට ඉස්මතු ව පෙනෙන්නේ වන විනාශය (deforestation) පමණයි. වන පිරිහීම හෙවත් (degradation) යන සාධකය එහි දී අවධානයට ලක් නො වන තරම්. මේ සාධක ද්විත්වය වචනාර්ථයෙන් එකිනෙක සමාන ලෙස පෙනී ගියත්, ඉන් අර්ථගැන්වෙන්නේ සංසිද්ධීන් දෙකක්. වන විනාශය බොහෝ විට සිදුවන්නේ මිනිසුන් අතින්. ගස් කොළන් කපා බිම හෙළීම, කැළෑ එළි කර කෘෂි කටයුතු සිදු කිරීම ආදී නේකවිධ අඩන්තේට්ටම් මේ ගොඩට වැටෙනවා. නමුත් වන පිරිහීම සිදු වන්නේ විනාශයට ලක් නො වී ඉතිරි වුණු වන කොටස් තුළයි. වන විනාශයේ බලපෑම නිරෝගී වනාන්තර කොටස් තුළට ද බලපෑම නිසා වන හානිය වන පිරිහීම ලෙස හැඳින්විය හැකියි.
2001 වසරේ සිට 2028 වසර දක්වා සිදු කරන ලද අධ්‍යයනයන් පාදක කර ගනිමින් සිදු කරනු ලැබූ නවතම විශ්ලේෂණයකින් අනාවරණය කරගෙන ඇත්තේ ලොව ඇති වැදගත් ම පරිසර පද්ධතියක් වන ඇමේසන් වනයේ ඉතිරි ව ඇති ප්‍රෙද්ශවලින් 38%ක පමණ වපසරියක් මේ වන විටත් එක්තරා පිරිහීමේ ලක්ෂණ පෙන්නුම් කරන බවයි. මේ විශ්ලේෂණය සඳහා ලොව නන් දෙසින් ඉදිරිපත් වූ විද්‍යාඥයන් 35 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මුල් වී තිබෙනවා.
“වන විනාශය ගැන අවධානයෙන් සිටීම වැදගත් තමයි. නමුත් අප ඒ වෙත පමණක් ම අවධානය දුනහොත් ඉතිරි වී ඇති වනගහනයේ සිදුවන වෙනස් වීම් මඟහැරෙන්නට පුළුවන්. එයිනුත් වන විනාශය මෙන් ම CO2 පරිසරයට මුදා හැරෙන්නට පුළුවන්.” එක්සත් රාජධානියේ, ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජොස් බර්ලෝව් එසේ අනතුරු අඟවනවා. ඔහු පවසන්නේ මෙය ඇමේසන් වනයේ වර්ග මීටර මිලියනයක පමණ වපසරියක් පුරා සිදුවන්නක් බවයි. එය එක්සත් රාජධානියටත් වඩා විසල් වර්ගඵලයක්.
අධ්‍යයනයේ කතුවරුන්ට අනුව වන පිරිහීම සඳහා බලපෑම් කරන ප්‍රධාන හේතූන් හතරක් තිබෙනවා. එනම් ලැව් ගිනි, දැව සඳහා ගස් පෙරළීම, මිනිසා වක්‍රාකාරයෙන් වගකිව යුතු නියං තත්ත්ව සහ මායිම් ආචරණයයි (එළිපෙහෙළි වූ වනාන්තර කොටස්වලට යාබද ව පිහිටන වන කොටස් සඳහා වන බලපෑම – edge effect).
“වනාන්තරයෙන් 38%ක්ම දැනටමත් මේ අවාසනාවන්ත ක්‍රියාවලියට බඳුන් වී තිබීම අදහන්නටත් අපහසුයි.” එසේ පවසන්නේ Amazon Environmental Research Institute හි නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක වන පැට්‍රීෂියා පින්හෝ. ඇය මෙම අධ්‍යයනයේ සම කර්තෘවරියක ද වනවා.
මහාචාර්ය බර්ලෝට අනුව තවමත් මේ අපරාධය වළකා ගන්නට මිනිසාට අවස්ථාව තිබෙනවා. එය සිදු කළ හැක්කේ ද වන විනාශය අවම කිරීමෙන් පමණයි. ගස් කැපීම නවතා දැමීම මෙන් ම ලැව් ගිනිවලට හේතු කාරකය වන ගිනි ගන්නා මූලාශ්‍ර භාවිතය හැකිතාක් අවම කිරීම ආදිය ද ඒ යටතට වැටෙනවා.
Mongabay ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි