ඉන්දියාවේ හිමාලය කඳු වැටිය ආශ්‍රිත ව මැග්නිටියුඩ් මාපක 8ක ප්‍රබල භූ කම්පනයක් ඇති වීමේ සම්භාවිතාවක් පවතින බව පෙන්වා දෙමින් අනාවැකි පළ වුණේ දින කිහිපයකට ඉහත දීයි. ඒ ඉන්දීය ජාතික භූ භෞතික විද්‍යා පර්යේෂණ ආයතනයේ (NGRI) ආචාර්ය එන්. පූර්ණචන්ද්‍ර රාඕ විසින්.
‘අපට උත්තරකාන්ද් හි භූ කම්පන මධ්‍යස්ථාන 18 කින් යුතු ශක්තිමත් ජාලයක් තිබෙනවා. හිමාචල් සහ නේපාලයේ බටහිර ප්‍රදේශය අතර ඇති භූ කම්පන පරතරය ලෙස හඳුන්වනු ලබන උත්තරකාන්ද් ඇතුළු ප්‍රදේශය ඕනෑ ම වේලාවක ඇති විය හැකි භූමිකම්පාවලට ගොදුරු වීමේ සම්භාවිතාවක් තිබෙනවා.’ ඔහු සඳහන් කළේ ඉකුත් 21 වැනි දායි.
මෙලෙස සිදු විය හැකි භූ කම්පනයක කම්පන තරංග ශ්‍රී ලංකාවේ ද කොළඹ, යාපනය ඇතුළු ප්‍රදේශ ගණනාවකට බලපැවැත්විය හැකි බව භූ විද්‍යාඥ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කර තිබෙනවා.
මහාචාර්ය සේනාරත්න මීට වසර දෙකකට ඉහත දී හිමාලය කඳු පන්ති අසබඩින් ඇරඹි මැග්නිටියුඩ් මාපක 5ක භූ කම්පනයක බලපෑම ද යළි ආවර්ජනය කළා. ඔහු පැවසුවේ එය ද සැලකිය යුතු මට්ටමේ ප්‍රබලත්වයකින් කොළඹ නගරයට දැනී ගිය බවයි.
හිමාලය ලොව ඇති ළා බාලතම කඳු පන්තියයි. එනිසා එය තවමත් ගොඩනැඟෙමින් පවතිනවා. ඒ යටින් පවතින යුරේසියානු සහ ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තැටිවල තෙරපීම් නිසා මේ කලාපයේ පිහිටුම අස්ථාවරයි. ඉන්දු භූ තැටිය වසරකට සෙන්ටිමීටර 5ක පමණ විචල්‍ය දුර ප්‍රමාණයකින් යුරේසියානු භූ තැටිය වෙත ළං වනවා. කාශ්මීරයේ සිට ගිනිකොණ දිග ඉන්දියානු භූමි කොටස් දක්වා දිවෙන මේ අස්ථාවර භූමි භාගය භූ කම්පන කලාප IV සහ V ලෙස හැඳින්වෙනවා.
මේ අතර ගතවුණු පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් භූ කම්පන 8ක් වාර්තා වුණා. ආසන්නතම භූ කම්පනය සිදු වූයේ දැනට පැය 3.30කට පෙරයි. එය මැග්නිටියුඩ් 3.7ක සුළු කම්පන තත්ත්වයක් ලෙසිනුයි සටහන් වූයේ. ඉන්දියානු තැටිය තුළ මේ දක්වා සිදු වූ භූ කම්පන සියල්ල ම පැවතියේ මැග්නිටියුඩ් 5ට අඩුවෙන්. අනාවැකි පළ කර ඇති පරිදි හිමාලය අඩවියට යටින් මැග්නිටියුඩ් 8ක භූ කම්පනයක් තවමත් වාර්තා වී නැහැ.
මේ අතර අතිශය ප්‍රබල භූ කම්පනයක ඛේදාන්තය විඳි තුර්කිය ඊයේ දිනයේ (27) තවත් භූ කම්පනයකට මුහුණ දුන්නා. මැග්නිටියුඩ් 5.6ක විශාලත්වයකින් යුතු වූ ඉන් 110ක් තුවාල ලැබූ බවත් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් වාර්තා වනවා.