ගැඹුරු මුහුදේ වෙසෙන විශාලතම අපෘෂ්ටවංශී විලෝපිකයන් අතර යෝධ හොල්මන් ලොඩියා (giant phantom jellyfish) නමින් හඳුන්වන Stygiomedusa gigantea නම් විශේෂය ප්‍රධාන තැනක් ගන්නවා.
එහෙත් මේ ලොඩියන් විශේෂය ලොව කලාතුරකින් දැකිය හැකි වන්නේ බොහෝ විට ගැඹුරු මුහුදු දියේ වෙසෙන නිසයි. එහෙත් Polar Research ජර්නලයේ පළ කර තිබෙන අධ්‍යයන වාර්තාවකට අනුව ඇන්ටාක්ටිකාවේ ජලය මතින් ගමන් කළ යාත්‍රාවක මගීන් යෝධ හොල්මන් ලොඩියාගේ විරල හමුවීම් තුනක් අත්විඳි බව වාර්තා වෙනවා. ඔවුන් දුටු ලොඩියන්ගේ දිග මීටර් 5 කට එනම් අඩි 16 කට වඩා වැඩි වන අතර එකෙකුගේ දිග අඩු ම තරමින් මීටර් 10ක් එනම් අඩි 33ක් පමණ වනවා.
Stygiomedusa gigantea නම් විශේෂයට අයත් මේ යෝධ හොල්මන් ලොඩියන්ට තිබෙන ග්‍රාහිකා හතර ම ඝනකම් රිබන් පටි වැනි නිසා ම ඔවුන් පිටස්තර ලෝකයකින් මෙහි පැමිණි අද්භූත ජනක ජීවීන් පිරිසක් ලෙසයි දිස් වන්නේ. මොවුන් ආක්ටික් සාගරය හැර ලොව අන් සෑම සාගරයක ම වෙසෙනවා.
මොවුන් මීටර් 1000 සිට 3000 දක්වා ගැඹුරු දියේ වෙසෙන අතර දක්ෂිණ සාගරයේ පමණක් මීටර් 1000කට අඩු ගැඹුරු ජලයේ වෙසෙනවා.
මේ අධ්‍යයන වාර්තාවේ දැක්වෙන අන්දමට ඇන්‍ටාක්‍ටික් අර්ධද්වීපයට එපිටින් මෙවැනි ලොඩියන් තිදෙනෙකු දිය යටින් හමු වී තිබෙනවා.
අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතුවර ඩැනියෙල් මුවර් මෙසේ පැවසුවා. “අපි දැක්ක හැම ලොඩියා ම සෙමින් පිහිනා ගියා. උන්ගේ සීනුවක් වැනි දේහය ප්‍රචාලනය සඳහා ස්පන්දනය වුණේ බොහොම සෙමිනුයි.
දිය යට යාත්‍රාවේ ආලෝකය වෙතට හෝ අපේ පැමිණීමට උන් කිසි ම ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.”
ඔවුන් දුටු ලොඩියන් තිදෙනා දැක තිබුණේ මීටර් 80, මීටර් 87 සහ මීටර් 280 යන ගැඹුරු ජලය තුළ දීයි.
මේ ලොඩියන් දක්ෂිණ සාගරයේ නැතිනම් ඇන්ටාක්ටික් සයුරේ දී මේ තරම් නො ගැඹුරු මට්ටමකට ඒමට හේතුව තව ම නිශ්චිත ව දන්නේ නැහැ.
පරපෝෂිත ජීවීන්ගෙන් ගැලවීම පිණිස පාර ජම්බූල විකිරණවලට නිරාවරණය වීම සඳහා මේ ලොඩියන් නො ගැඹුරු ජලය වෙත පැමිණෙන බවට එක් මතයක් ද පවතිනවා.
Live Science සහ Polar Research ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි