Home Science News ගීසා පිරමීඩය තුළ සැඟවුණු කොරිඩෝවක් සොයා ගැනෙයි

ගීසා පිරමීඩය තුළ සැඟවුණු කොරිඩෝවක් සොයා ගැනෙයි

by Sathya

ඊජිප්තුවේ පිහිටි තෙවෙනි විශාලම නගරය වන ගීසාහි මහා පිරමීඩයේ උතුරු මුහුණතට ඇතුළතින් මෙතෙක් සැඟවී තිබූ කොරිඩෝවක් අනාවරණය කර තිබෙනවා.

පැරණි ලෝකයේ මහා පුදුමයන්ගෙන් දැනට ඉතිරි ව තිබෙන එක ම නිර්මාණය වන අඩි 456 ක් (මීටර් 139) උසැති මහා පිරමීඩය ක්‍රිස්තු පූර්ව 2551 වසරේ සිට ක්‍රිස්තු පූර්ව 2528 වසර දක්වා ඉපැරණි මිසරය පාලනය කළ කුෆු පාරාවෝ රජතුමාගේ නියමයෙන් නිම කළ නිමැවුමක්.

කොස්මික් කිරණ සහ එන්ඩොස්කෝපයකින් ලබාගත් ඡායාරූප ඇසුරෙන් පිරමීඩයේ පැරණි පිවිසුමට ඉහළින් අඩි 30 ක් (මීටර් 9) දිගැති සහ අඩි 6.6 (මීටර් 2) බැගින් පළල හා උස ඇති තිරස් කුහරයක් අලුතෙන් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

පසුගිය මාර්තු 2 වැනි බ්‍රහස්පතින්දා Nature Communications ජර්නලයේ පළ කරන ලද අධ්‍යයන වාර්තාවක මේ සොයාගැනීම විස්තර කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි මස 24 වැනි දින කොරිඩෝව තුළට එන්ඩොස්කෝප් උපකරණයක් ඇතුළු කළ විට එතුළ කිසි ම භාණ්ඩයක් හමු වූයේ නැහැ.

“එන්ඩොස්කෝපයෙන් ලැබුණු පළමු පින්තූරවලින් පෙනුණේ එහි කිසිවක් නැති බවයි. එහෙත් සම්පූර්ණ අවකාශය හරියට ම දැක ගැනීමට අපට හැකි වුණේ නැහැ.” 

ප්‍රංශ විකල්ප බල ශක්තීන් සහ පරමාණු බල ශක්ති කොමිසමේ (CEA) භෞතික විද්‍යාඥයෙකු හා ඉහත අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතුවර Sebastien Procureur පවසනවා.

විද්‍යාඥයින් විසින් මේ කොරිඩෝව අනාවරණය කර තිබෙන්නේ වසර 4,500 ක් පැරණි මහා පිරමිඩයේ මියුඕන (muon) පරිලෝකනයන් විශ්ලේෂණය කිරීමෙනුයි.

මියුඕන යනු පෘථිවි වායුගෝලයේ පරමාණු සමග කොස්මික් කිරණ සංඝට්ටනය වීමෙන් හට ගන්නා ඍණ ආරෝපිත මූලික අංශු වර්ගයක්.

පෘථිවියට නොකඩවා ම වැදෙන මේ අධි ශක්ති අංශු වාතයට වඩා පාෂාණ මත ඇති කරන බලපෑම වෙන වෙනස් වෙනවා.

වසර කීපයක සිට ම විද්‍යාඥයින් මහා පිරමිඩයේ උතුරු මුහුණතට පිටුපසින් සැඟවුණු යමක් ඇති බව දැන සිටියා.

2016 වසරේ දී එහි හිස් අවකාශයක් තිබෙන බව ප්‍රකාශයට පත් කළ ද මේ වන තුරු අඩි 30ක් දිගැති කොරිඩෝවක් පිළිබඳ ව දැන තිබුණේ නැහැ.

Live Science සහ Nature Communications ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications