Home Science News තරු දීප්තිය පරදන ධූමකේතුවක් ලබන වසරේ

තරු දීප්තිය පරදන ධූමකේතුවක් ලබන වසරේ

by Sathya

මේ වන විට අලුතින් ම සොයාගෙන තිබෙන ධූමකේතුව හැඳින්වෙන්නේ C/ 2023 A3 හෙවත් Tsuchinshan – ATLAS ධූමකේතුව ලෙසයි. මේ 2023 වසරේ ජනවාරි මස 9 වැනි දින මුලින් ම මෙම ධූමකේතුව සොයාගනු ලැබුවේ චීනයේ Purple Mountain Observatory නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයින් විසින්.

ඉන්පසුව පසුගිය පෙබරවාරි මස 22 වැනි දින දකුණු අප්‍රිකාවේ පිහිටි ATLAS (Asteroid Terrestrial – impact Last Alert System) දුරේක්ෂය මඟින් එය දෙවන වරටත් නිරීක්ෂණය කරනු ලැබුවා.

මේ වන විට සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක දෙක අතර ප්‍රදේශයේ පැයට කිලෝ මීටර් 290,664 ක වේගයෙන් පැමිණෙමින් තිබෙන C/ 2023 A3 ධූමකේතුව සූර්යයා වටා එක් වාරයක් පරිභ්‍රමණය වීමට ගතවන කාලය අවුරුදු 80,660 ක් බව ගණනය කර තිබෙනවා.

ඒ අනුව ලබන 2024 වසරේ සැප්තැම්බර් මස 28 වැනි දින හිරුට වඩාත් ම ළං වන සූර්ය සමීපකය පිහිටුමට එළඹෙන මේ ධූමකේතුව ඉන් අනතුරුව ලබන 2024 වසරේ ඔක්තෝබර් මස 13 වැනි දිනයේ පෘථිවියට ඉතා සමීප වීමට නියමිත ව තිබෙනවා.

මේ ධූමකේතුව නිරීක්ෂණය හොඳින් ම කළ හැකි වන්නේ ලබන 2024 වසරේ ඔක්තෝබර් මස 13 වැනි දිනට පෙර හෝ පසු ආසන්න දිනවල හිමිදිරි අහසේ Hydra සහ Crater යන තාරකා මණ්ඩල දෙකට ආසන්නවයි.

තාරකා විද්‍යාඥයින් අනුමාන කරන පරිදි ධූමකේතුව සූර්ය සමීපක පිහිටුමට එළඹෙන විට එහි දීප්තිය 0.7 ක අගයක් ගන්නා අතර පෘථිවියට වඩාත් ළං වන අවස්ථාවේ දී එහි දීප්තිය — 0.2 තරම් අගයකට පත් වීමට නියමිතයි.

එවිට එය රාත්‍රි අහසේ දීප්තිමත් ම වස්තුන්වලින් එකක් බවට පත්වනු ඇති.

2024 වසරේ ඔක්තෝබර් මස අග වනවිට ධූමකේතුව රාත්‍රි අහසේ Serpens තාරකා මණ්ඩලයේ බටහිර කොටස පසු කර Ophiuchus තාරකා මණ්ඩලයට ඇතුළු වීමට නියමිතව තිබෙනවා.

මේ 2023 වසරේ ජනවාරියේ දී පෘථිවියට සමීප ව ගමන් කළ C/2022 A3 ධූමකේතුවටත් වඩා බෙහෙවින් දීප්තිමත් වීමට ඉඩ ඇති මේ නවතම C/ 2023 A3 ධූමකේතුව ලබන වසරේ දී පියවි ඇසින් දැකීමට හැකි වනු ඇති.

Live Science සහ Science Alert ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications