වර්තමාන ප්ලැටිපස්ගේ ඥාතියෙකු ලෙස සැලකිය හැකි වසර මිලියන 70 ක් පැරණි ෆොසිලයක් දකුණු ඇමරිකාවෙන් හමු වී තිබෙනවා. 𝑷𝒂𝒕𝒂𝒈𝒐𝒓𝒉𝒚𝒏𝒄𝒉𝒖𝒔 𝒑𝒂𝒔𝒄𝒖𝒂𝒍𝒊 නම් මේ ෆොසිලය සොයාගෙන තිබෙන්නේ ආජෙන්ටිනාවේ ඉපැරණි විලක ඉවුරෙන්.
මොනොට්‍රිමාවන් ලෙස හඳුන්වන බිත්තර දමන ක්ෂීරපායී විශේෂ පහක් ලොව දැනට ජීවමානව වෙසෙන අතර ඔවුන් සියල්ලෝ ම සිටින්නේ ඕස්ට්‍රේලියාවේ පමණයි. එම විශේෂ පහට 𝑶𝒓𝒏𝒊𝒕𝒉𝒐𝒓𝒉𝒚𝒏𝒄𝒉𝒖𝒔 𝒂𝒏𝒂𝒕𝒊𝒏𝒖𝒔 නම් තාරා හොට ප්ලැටිපස් විශේෂයත්, කෙටි හොට එකිඩ්නා අයත් 𝑻𝒂𝒄𝒉𝒚𝒈𝒍𝒐𝒔𝒔𝒖𝒔 𝒂𝒄𝒖𝒍𝒆𝒂𝒕𝒖𝒔 විශේෂයත්, Zaglossus ගණයට අයත් දිගු හොට එකිඩ්නා විශේෂ තුනකුත් අයත් වෙනවා.
මොවුන් දැනට වෙසෙන්නේ ඕස්ට්‍රේලියාව සහ ඒ අවට දූපත්වල පමණයි.
පසුගිය පෙබරවාරි මස 16 වැනි දින Communications Biology නම් ජර්නලයේ පළ කරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව මේ නවතම ෆොසිලය චාර්වක දතක් සහිත යටි හනුවකින් සමන්විත වෙනවා.
වසර මිලියන ගණනාවකට ඉහත දී ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව හා ඇන්ටාක්ටිකාව සමග ආසියාවේ හා අප්‍රිකාවේ කොටස් ද එක් වී ගොන්ඩ්වානාව නම් සුපිරි මහාද්වීපයක් පැවතුණු බව සත්‍යයක්. එහෙත් වසර මිලියන 180 කට පෙර මේ මහා ගොඩබිම කැඩී යාම ජුරාසික අවධියේ දී ඇරඹුණු අතර වසර මිලියන 66කට ඉහත ක්‍රිටේසීය අවධියේ අවසානය වන තුරු ම සම්පූර්ණයෙන් ම වෙන් වූයේ නැහැ.
දකුණු ඇමරිකාවෙන් මෑත කාලයේ හමු වූ මොනොට්‍රීම් ෆොසිලයන් නිසා ම විද්‍යාඥයින් මුල දී සිතා තිබුණේ ඕස්ට්‍රේලියාව මහා ගොඩබිමෙන් වෙන් වූ පසු ඔවුන් එහි පරිණාමය වී පසු ව ගොඩබිම් සම්බන්ධයක් ඔස්සේ දකුණු ඇමරිකාවට සංක්‍රමණය වන්නට ඇති බවයි. එහෙත් ආජෙන්ටිනාවෙන් හමුවුණු නවතම 𝑷𝒂𝒕𝒂𝒈𝒐𝒓𝒉𝒚𝒏𝒄𝒉𝒖𝒔 𝒑𝒂𝒔𝒄𝒖𝒂𝒍𝒊 ෆොසිලය මේ අදහස වෙනස් කරනවා. “අපේ සොයාගැනීම නිසා මොනොට්‍රිමාවන් ඕස්ට්‍රේලියාවේ පමණක් පරිණාමය නො වූ බවත්, දකුණු ගොන්ඩ්වානාවේ වෙනත් පෙදෙස්වල ද පරිණාමය වී ඇති බවත් පැහැදිලිව ම පෙන්වා දෙනවා.” මේ අධ්‍යයන වාර්තාවේ සම කතුවරයෙකු වන ආජෙන්ටිනාවේ බුවනොස් අයිරේස්හි බර්නාඩිනෝ රිවඩේවියා ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ පාෂාණිධාතු විද්‍යාඥ ෆර්නැන්ඩෝ නොවාස් එසේ පවසනවා.
ඔහු සඳහන් කරන අන්දමට ජීවමාන ප්ලැටිපසාවන්ට දත් නොමැති නමුත් වඳ වී ගිය ඥාතියෙකු වන වසර මිලියන 30ක් පැරණි Obdurodon ගේ උඩු හා යටි හනුවල දත් හමු වී තිබෙනවා. අලුතෙන් සොයාගත් ෆොසිලයේ චාර්වක දත ද මේ දත්වලට සමානකම් දක්වනවා.
Live Science සහ Communications Biology ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි