මෑතක දී සොයාගන්නා ලද ග්‍රහකයක් තවත් වසර විසි තුනකින් පෘථිවිය සමග ගැටෙවන්නට ඉඩ තිබෙන බව NASA ආයතනයේ Planetary Defence Coordination Office ට්විටර් සටහනක් තබමින් නිවේදනය කළා. මේ වසරේ පෙබරවාරි 27 දා හඳුනා ගැනුණු එකී ග්‍රහකය නම් කර තිබෙන්නේ 2023 DW ලෙසයි. මීටර 50ක විශ්කම්භයකින් යුතු එය විශාලත්වයෙන් ඔලිම්පික් තරගවල දී භාවිතයට ගැනෙන පිහිනුම් තටාකයකට සම කළ හැකියි.
දැනට ගණනය කර ඇති පථයට අනුව එය 2046 වසරේ පෙබරවාරි 14 වැනි දා පෘථිවිය සමග ගැටීමේ සම්භාවිතාවක් තිබෙනවා. මෙය පෘථිවිය සමග ගැටීමේ සම්භාවිතාව 625කි්න් 1ක් බවයි NASA සඳහන් කරන්නේ. යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය එහි ගැටීමේ සම්භාවිතාව ලෙස දන්වා ඇත්තේ 0.16% යි. එය විශ්වීය මට්ටමින් සලකා බැලීමේ දී ඉහළ සම්භාවිතාවක් ලෙස හුවා දැක්විය හැකියි. නමුත් සම්භාවිතාවක් ලෙස ගත් විට එහි ඇත්තේ අතිශය සුළු විය හැකියාවක් පමණයි.
යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියේ Near Earth Objects Coordination Centre විසින් තවදුරටත් එහි විශාලත්වය, හැඩය සහ වෙනත් ගුණාංග පිළිබඳ නිරන්තර නිරීක්ෂණයේ යෙදී සිටිනවා. දැනට ලැබී ඇති දත්තවලට අනුව එය තිබෙන්නේ පෘථිවියේ සිට නක්ශත්‍ර ඒකක 0.12ක් (කිලෝමීටර මිලියන 18ක්) දුරින්. ග්‍රහකයේ ගමන් පථය පිළිබඳ වඩාත් සූක්ෂ්ම දත්ත ලබා ගැනීමට නම් කාලයත් සමග එය තවත් ළං වන තුරු සිටිය යුතු වනවා.
මෙම ග්‍රහකය යම් හෙයකින් පෘථිවිය සමග ගැටුණත් එය ඩයිනෝසෝරයන් මිහිපිටින් අතුගා දැමූ ග්‍රහක ඝට්ටනය තරම් ප්‍රබල එකක් වන්නේ නැහැ. නමුත් ඉන් යම් උවදුරක් නැතැයි ද කිව නො හැකියි. 2013 දී මෙකී ග්‍රහකයෙන් අර්ධයක පමණ ප්‍රමාණයකින් යුතු වූ ග්‍රහකයක් රුසියාවේ Chelyabinsk නගරයට ඉහළ අහසේ පුපරා ගියා. ඉන් ඇති වූ කම්පන තරංගය හේතුවෙන් දේපළ විශාල සංඛ්‍යාවකට හානි සිදු වූ අතර පුද්ගලයින් 1500කට අධික පිරිසක් තුවාල ලැබුවා.
Scientific American ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි