Home Science News පිටසක්වළ ග්‍රහලොවක දුහුවිලි කුණාටුවක් ජේම්ස් වෙබ්ගේ නෙතට හසුවෙයි

පිටසක්වළ ග්‍රහලොවක දුහුවිලි කුණාටුවක් ජේම්ස් වෙබ්ගේ නෙතට හසුවෙයි

by Sathya

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් දුරින් පිහිටි පිටසක්වළ සුවිසල් ග්‍රහලොවක හටගත් යෝධ දූවිලි කුණාටුවක් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින් සමත් ව තිබෙනවා.

අපේ බ්‍රහස්පති ග්‍රහලොව මෙන් 20 වාරයකින් විශාල ‘සුපිරි ගුරු ලොවක් ‘ වන  VHS 1256 b ග්‍රහලොවේ වායුගෝලයේ මේ දැවැන්ත දූවිලි කුණාටුව නිරීක්ෂණය වුණා.

මව් තාරකා දෙකක් වටා පරිභ්‍රමණය වන මේ ග්‍රහලොවේ වායුගෝලයේ දූවිලි වලාවන් පමණක් නොව ජලය, මීතේන්, කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් පවා අඩංගු වන බව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ ප්‍රබල සංවේදක මඟින් හඳුනාගෙන තිබෙනවා.

මේ නිරීක්ෂණ පිළිබඳ ප්‍රකාශයට පත් වී තිබෙන්නේ පසුගිය මාර්තු 22 දින පළ කර ඇති The Astrophysical Journal Letters ජර්නලයේයි.

බ්‍රහස්පති ලොවට වඩා විශාල එවැනි ම වායුමය යෝධයෙකු වන VHS 1256 b නම් මේ ග්‍රහලොව තම මව් තාරකා දෙක වටා එක් පරිභ්‍රමණයක් සිදු කිරීමට වසර 10,000 ක තරම් කාලයක් ගන්නවා.

“VHS 1256 b ග්‍රහලොවට එහි තාරකා දෙකේ සිට ඇති දුර අපේ සූර්යයාගේ සිට ප්ලූටෝ වෙත ඇති දුර මෙන් හතර ගුණයක් වනවා. මේ නිසා ම ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට එය හොඳ ම ඉලක්කයක් බවට පත් ව තිබෙනවා.” මේ පිළිබඳ පළ කර ඇති වාර්තාවේ ප්‍රධාන කතුවරිය වන එක්සත් ජනපදයේ ඇරිසෝනා සරසවියේ තාරකා භෞතික විද්‍යාඥ බ්‍රිටනි මයිලේස් එසේ පවසනවා.

මේ පිටසක්වළ ග්‍රහලොව එහි මව් තාරකාවලින් බොහෝ දුරස්ථ ව ගමන් කරන නිසා ම තාරකාවල ආලෝකයෙන් ග්‍රහලොවට බාධා නො වී එය කෙළින් ම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින්ට හැකියාව ලැබෙනවා.

“ජේම්ස් වෙබ් නිරීක්ෂණය කළ වලාකුළුවල වැලි අංශුවලටත් වඩා කුඩා සිලිකේට් අංශු ඇති බව සොයාගෙන තිබෙනවා. මේ සිලිකේට් අංශු දුමක තිබෙන කුඩා අංශුවලට වඩාත් සමානයි. “

මේ වාර්තාවේ සම කතුවරියක වන එක්සත් රාජධානියේ එඩින්බර්ග් සරසවියේ තාරකා විද්‍යාඥවරියක වන බෙත් බිලර් සඳහන් කරනවා.

ග්‍රහලොවේ වලාකුළු දැඩි උණුසුමකින් යුක්තයි. එහි වායුගෝලයේ එම ස්ථරය සෙල්සියස් අංශක 830 ක උෂ්ණත්වයකින් යුක්ත වනවා.

පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි දූවිලි කුණාටුව සදහට ම පවතින්නක් නොවෙයි.

VHS 1256 b ග්‍රහලොව වසර මිලියන 150 ක් තරම් වයසැති ළාබාල ග්‍රහලොවක්.

එය තවත් වයස්ගත වීමේ දී එහි වෙනස්කම් සිදුවිය හැකියි.

මව් තාරකා දෙකේ සිට පවතින විශාල දුර ප්‍රමාණය නිසා ම එහි වායුගෝලය සිසිල් වී දැනට පවතින මේ කැළඹිලි තත්වය පහ වී යා හැකි බව පර්යේෂකයින් සඳහන් කරනවා.

Live Science සහ The Astrophysical Journal Letters ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications