බිලියනපති ව්‍යවසායක ඊලෝන් මස්ක් තවත් ප්‍රවීණයන් රැසක් සමගින් ඉකුත් දා විවෘත ලිපියක් සම්පාදනය කරමින් කියා සිටියේ කෘත්‍රිම බුද්ධිය සමග කෙරෙන සියලු අත්හදා බැලීම් කලක් යනතුරු නවතා දැමිය යුතු බවයි. එම විරාමය ඇතුළත ඒවා සියයට සියයක් මිනිසුන්ට හිතකර ද යන්න ස්ථිර කරගත යුතු බවත් ඔවුන් සිය විවෘත ලිපියේ සඳහන් කරනවා.
මෙය පෙත්සමක් යනුවෙන් වුවත් හඳුන්වා දුන්නාට වරදක් නැහැ. ඒ එය අත්සන් 1000කට වඩා සමන්විත වීම හේතුවෙන්. ඇපල් සමාගමේ සම-ආරම්භක Steve Wozniak ද ඊට ඇතුළත්. මස්ක්ගේ මුදල් ආයෝජනයට නතු Future of Life පදනමේ නිල වෙබ් අඩවියට පිවිස ඕනෑ ම වෙබ් පරිශීලකයෙකුට ඊට සිය අත්සන යෙදිය හැකියි.
මෑතක දී OpenAI සමාගමේ නවතම විසල් භාෂා මොඩල සංස්කරණය වන GPT-4 නිකුත් වීම මේ සඳහා බලපෑ ප්‍රධානතම සහ ආසන්නතම හේතුවයි.
මින් පෙර හඳුන්වා දෙන ලද ChatGPT සංස්කරණයන්ට වඩා අතිශය මෙය අතිශය ප්‍රබල තත්ත්වයක ඇති බව OpenAI සඳහන් කර තිබුණා.
“මිනිසත් බුද්ධිය සමග තරඟ කළ හැකි මට්ටමේ කෘත්‍රිම බුද්ධි පද්ධති සමාජය දැඩි උවදුරක් වෙත හෙළිය හැකියි.” “යෝධ කෘත්‍රිම බුද්ධිමය අත්හදාබැලීම්වලට විරාමයක් දෙන්න” මැයෙන් සම්පාදිත මේ ලිපියේ එසේ සඳහන් කර තිබෙනවා.
“බලසම්පන්න කෘත්‍රිම බුද්ධි පද්ධති සංවර්ධනය කළ යුත්තේ එහි බලපෑම් සියල්ලම ධනාත්මක සහ එමගින් සිදුවන උවදුරු කළමනාකරණය කරගත හැකි බවට විශ්වාසදායී තලයකට පැමිණි විට දී පමණයි” එහි වැඩිදුරටත් සඳහන්.
ඊලෝන් මස්ක් ද OpenAI සමාගමේ මුල් ම ආයෝජකයන් අතරින් අයෙක්. නමුත් පසු කලෙක ඔහු එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වුණා. ලාබ නො ලබන පර්යේෂණ ආයතනයක් ලෙසින් ඇරඹි OpenAI සමාගම දැන් Microsoft සමාගමේ පදයට නටන රූකඩයක් වී ඇති බව කලෙක පටන් ඔහු චෝදනා කරමින් සිටියා. මේ වන විට OpenAI හි ප්‍රධානතම ආයෝජකයා වන්නේ ද Microsoft සමාගමයි.
කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ සංවර්ධන කටයුතු සිදුකරන Stability AI සමාගමේ ප්‍රධානී Emad Mostaque සහ කැනේඩියානු ප්‍රමුඛ AI පුරෝගාමියෙකු වන Yoshua Bengio ද මෙහි අත්සන් තබා තිබෙනවා. එනිසා මෙය සිය තරගකරුවා අඩපණ කරන්නට දරන තවත් ව්‍යාපාරික වෑයමක් දැයි යමෙකුට සැක සිතීම සාධාරණයි.
Science Alert ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි