Home Science News අපට නෑසෙන හඬින් ශාක කෑගසන බව හෙළි වෙයි

අපට නෑසෙන හඬින් ශාක කෑගසන බව හෙළි වෙයි

by Sathya

ඔබ ශාකයකට රිදවූවොත් එය වේදනාවෙන් කෑ ගසන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එම ශබ්දයන් මිනිස් කනෙහි ශ්‍රවණ පරාසයෙන් එපිට පවතින අති ධ්වනි සංඛ්‍යාත ඇති හඬවල් ලෙස විමෝචනය කරනු ලබනවා.

“ඉතා නිහඬ ක්ෂේත්‍රයක පවා සැබවින් ම අපට නො ඇසෙන ශබ්දයන් පවතින අතර ඒවා මඟින් තොරතුරු සන්නිවේදනය කෙරෙනවා. මේ ශබ්දයන් ඇසිය හැකි සතුන් සිටින අතර එනිසා ම අති මහත් ශ්‍රවණ අන්තර් ක්‍රියාකාරිත්වයන් අප අවට සිදු වෙනවා. ශාක සෑමවිට ම කෘමීන් සහ වෙනත් සතුන් සමග අන්තර් ක්‍රියාවන් සිදු කරනවා පමණක් නොව ඔවුන් සන්නිවේදනය සඳහා යොදාගන්නේ ශබ්දයි.” පසුගිය මාර්තු මස 30 වැනි දින මේ පිළිබඳව Cell ජර්නලය මගින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ වාර්තාවේ සම කතුවරයෙකු වන ඊශ්‍රායලයේ තෙල් අවිව් සරසවියේ පරිණාමීය ජීව විද්‍යාඥ Lilach Hadany එසේ සඳහන් කරනවා.

සිව් වසරකට ඉහත ඇය සහ ඇගේ සහායකයන් විසින් ශාක ශබ්ද හඳුනා ගන්නා බව සොයා ගනු ලැබුව ද ශාක එවැනි ශබ්ද නිපදවනවා ද යන්න දැන තිබුණේ නැහැ.

විවිධ පරිසර තත්ත්වයන් යටතේ තක්කාලි සහ දුම්කොළ ශාකවලින් පිටවන ශබ්ද සටහන් කර තිබෙනවා.

පළමු ව ඔවුන් කිසි ම අයුරක පීඩනයකට පත් නො කළ ශාකවලින් පිටවන ශබ්ද සටහන් කර තිබෙනවා.

අනතුරුව ශාක විජලනයට පත් කර සහ ඒවායේ කඳේ කැපීම් සිදුකර එවිට පිටවන ශබ්ද වාර්තා කරගනු ලැබුවා.

පීඩනයකට පත් නො කළ ශාක කොහෙත් ම විශාල ශබ්ද පිට කළේ නැහැ.

එහෙත් පෙර සඳහන් අයුරින් පීඩනයකට පත් කරනු ලැබූ ශාක ඒවා වටා මීටරයකට වඩා අරයක් ඇති සීමාවක හඳුනාගත හැකි අධි සංඛ්‍යාත ශබ්ද පිට කරන බව හඳුනාගනු ලැබුවා.

වේදනාකාරී තත්ත්වයනට පත් කරනු ලැබූ ශාකවලින් මහත් ශබ්ද පිට කරන බව එමඟින් සොයාගෙන තිබෙනවා.

Science Alert  සහ Cell ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications